hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මැයි 23, පෙ.ව. 10:49



ලක්ෂ තිහකට වැඩි පිරිසක් පොසොන් සමයේ වන්දනාවේ එන මිහින්තලේ පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය නොදීමට රජය තීරණය කළ නිසා පිණ්ඩපාත චාරිකාවක වැඩම කොට පොසොන් පින්කමට සැදැහැතියන්ගේ උපකාර ලබාගෙන පින්කම සිදු කරන බව මිහින්තලේ රජමහ විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවැසූවා.

2019 වසරෙ සිට පැවැත්වීමට නොහැකි වූ අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍ර කර ගත් පොසොන් පින්කමට මෙවර රාජ්‍ය අනුග්‍රාහකත්වය නොලැබෙන තත්ත්වයක් උදා වී ඇති බැවින් මහ සංඝරත්නය සහ බැතිමතුන් ගම්වාසීන් පිරිවරා ගනිමින් හෙට (24) මෙම පිණ්ඩපාත චාරිකාව සිදු කරන බවද උන්වහන්සේ පැවැසූවා.

මෙම ඓතිහාසික පිණ්ඩපාත චාරිකාව පිළිබඳව අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද සඳහන් කළා.

“මිහිඳු මාහිමිපාණන් වහන්සේ පන්සියයක් රහතන් වහන්සේලා සමඟ මිහින්තලේ අම්බස්තල කන්දට වැඩම කරපු ඒ ඓතිහාසික අවස්ථාවේ 2331 වන වසර තමයි අපි මේ අවුරුද්දේ සමරන්නේ. නමුත් බෞද්ධයන්ගේ අවාසනාවට මෙවර අපිට රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන බවයි දක්නට තියෙන්නේ. ජනතාවගෙන් යැපෙන හිමිනමක් වශයෙන් වසරකට පසුව එළැඹෙන පොසොන් පෝයට මෙහි එන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට පහසුකම් සැපයීම මගේ වගකීමක් නිසයි මා මේ පිණ්ඩපාත චාරිකාව සූදානම් කළේ. මහා සංඝරත්නය සහ දායකයන් ඇතුළු පිරිසක් එක්ව මේ පිණ්ඩපාත චාරිකාව හෙට උදෑසන මිහින්තලේ නගරයෙන් ආරම්භ කරනවා. අපි ඉල්ලන්නේ එක රුපියල බැගින් ආධාරයක් කරන්න කියලයි. පාරට බැහැලා හරි මුදල් එකතු කරලා මේ පින්කම කරන්න මා දැඩි තීරණයක් ගත්තා.

බුදුන් වහන්සේ දේශනා කළා චරෙක භික්ඛවේ චාරිකන් බහුජන හිතාය බහුජන සුඛාය කියල. ඒ අනුව මෙය වරදක් නෙවි. මා මෙය කරන්නේ බෞද්ධයන්ගේ හිත සුව පිණිසයි. මෙවර පොසොන් පින්කමට ලක්ෂ තිහකට අධික පිරිසක් අනුරාධපුර වන්දනාවේ එන බව අපිට විශ්වාසයි. මොකද මේ වන විට ඉන්ධන මිල අඩු වෙලා. කොළඹ ඇතුළු තදාසන්න නගරවල සිට වන්දනාකරුවන් මේ වන විටත් වන්දනාවේ ඒමට සූදානම්ව සිටින්නේ. පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය, රටේ ආර්ථික අපහසුතාව යන කරුණු මත ඉකුත් 2019 ඉඳලා 2022 දක්වා පොසොන් පින්කම උත්කර්ෂවත් අන්දමින් කරගන්න අපිට බැරි වුණා. නමුත් බෞද්ධයන්ගේ අවාසනාවට මේ වන තෙක් ඒ ගැන රජය කිසිම සූදානමක් නැහැ. පොසොන් සතිය ආරම්භ වීමට තව ඇත්තේ දින දොළහක කාලයක් විතරයි. රජය දුම්රිය, බස් රථ යෙදූ බව ප්‍රචාරය කරාවි. නමුත් මෙහි එන වන්දනාකරුවන්ට මූලික පහසුකම් සැපයීම අපේ යුතුකම හා වගකීමක් වෙනවා. පසුගියදා ආණ්ඩුකාරතුමා පැමිණ සාකච්ඡා කළ අවස්ථාවේදී අනාවරණය වුණේ රජය මෙවර මේ සඳහා ප්‍රතිපාදන ලබා නොදෙන බවයි. මේ පින්කම රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකළ යුතු බවට ගැසට් කරලා තියෙන්නේ.

වත්මන් රජය නිදහස් උත්සවය, අවුරුදු උත්සවය, වෙසක් උත්සවය, ජනරජ පෙරහර, රණවිරු උපහාර දිනය මේ සියල්ල රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකළා. මේ සියලුම උත්සව අපිට සමරන්න ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහම රැගෙන ලංකාවට වැඩම කළ නිසයි. කෘතවේදී ජාතියක් ලෙස අපිට මේ දිනය ඉතාම වැදගත්. ඇයි මේ පොසොන් පින්කමට විතරක් කුඩම්මාගේ සැලකිල්ල. අනුරාධපුර අටමස්ථාන වන්දනාවේ පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් මූලික පහසුකම් ඇතුළු මිහිඳු පෙරහර, මිහින්තලා ආලෝක පූජා පින්කම, වන්දනාකරුවන්ට අවශ්‍ය මූලික පහසුකම් අක්කර ගණනක් පුරා පැතිරුණු පූජා බිමට ආලෝකය සැපයීම, ශබ්දවිකාශන යන්ත්‍ර සවි කිරීම, ජල කරාම සවි කිරීම, ජංගම වැසිකිළි, දන්සල්, රථ ගාල් සැකසීම මේ සියල්ල කරන්න මේ කාලය මදි. දැනටමත් දන්සල් තිහක් ලියාපදිංචි වෙලා තියෙනවා. මෙවර වෙසක් පෝයට අනපේක්ෂිත අන්දමින් ලක්ෂ දහයකට අධික පිරිසක් මිහින්තලේ වන්දනාවේ ආවා. මේ අය ජංගම දුරකථනයේ ආලෝකය දල්වගෙන ආරාධනා ගල නැග්ගේ.

මිථ්‍යා දෘෂ්ටිකයන් වාසය කරපු රටක් සම්‍යක්දෘෂ්ටිකයන් සිටින රටක් බවට පත් කළේ මීට වසර දෙදාස් තුන්සිය තිස් එකකට පෙර මිහිඳු හිමියන් ප්‍රමුඛ පන්සියයක් රහතන්වහන්සේලාගේ වැඩමවීම නිසයි. මීට පෙර මිහින්තලේ ආලෝක පූජාව සැපයූ ආයතනය මෙවර ඒ සඳහා ඉදිරිපත් වී නැහැ. ජල විදුලියට විතරක් ලක්ෂ දෙසිය දහයක් අවශ්‍ය වෙනවා. පෙරහර ඇතුළු සමස්ත වියදම කෝටි දෙකක් පමණ අවශ්‍යයි. රාජ්‍ය වියදම් පිරිමසා ගැනීම එදා සිට කළා නම් අද අපි විදේශිකයන්ට ණය වුණු රටක් බවට පත් වෙන්නේ නැහැ. මා ඉල්ලා සිටිනවා සමස්ත ලෝකවාසී බෞද්ධ අබෞද්ධ සියලුම ශ්‍රී  ලාංකිකයන්ගෙන් මේ සඳහා ඔබට හැකි අයුරින් ආධාර කරන්න කියලා. එක්ව සමඟි වුණොත් මේ දින කිහිපය අපිට ප්‍රමාණවත් මේ පින්කම කරන්න. ලංකා බැංකුවෙන්, හැටන් නැෂනල් බැංකුවෙන් මේ සඳහා ආධාර කළ හැකි පරිදි මිහින්තලේ අරමුදල් ගිණුම් තියෙනවා. ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ බුද්ධාලම්බන පී්‍රතිය ඇතුව මිහින්තලේට පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් මේ උපකාරය කරන්න කියා” යැයි මිහින්තලේ රජමහ විහාරාධිපති හිමියෝ පැවැසූවා.