hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 16, පෙ.ව. 9:43



මිහින්තලා පුද බිම තුල කිසිදු හෝටලයක් හෝ කාමර ඉදි කර නෙමැති බවත් එසේ හෝටලයක් හෝ කාමර ඉදිකරමින් නොපවතින බවත් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ජ්‍යෙෂ්ඨ මහචාර්ය අනුර මනතුංග මහතා පවසනවා.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ.ටී.එච්.එච්.ආර් කිරිඇල්ල මහතා විසින් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසට කළ දැනුම්දීමට ලිඛිතව ප්‍රතිචාර දක්වමිනුයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා ඒ බව දැනුම් දී ඇත්තේ.

පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ලිඛිතව දැනුම්දුන් එම වාර්තාවේ සඳහන් වන්නේ අලුතින් එම ස්ථානයේ ගොඩනැගිලි ඉදිකර නොමැති බවත් ස්ථානයේ සංවර්ධන කටයුතු උදෙසා මෑත කාලීනව සිදු කර ඇති අනෙකුත් ඉදිකිරීම්වලට අවසරය ලබා ගෙන ඇති බවයි.

මිහින්තලා කටු සෑයේ කපුවන් මගින් පුද පූජා ඔප්පු කිරීම හා යාතිකා කිරීම් කරන්නේදැයි ද බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා විමසා තිබුණා.

සංරක්ෂිත ස්ථූපයක් වන මෙම ආගමික ස්මාරකය විහාරාධිපති හිමියන් යටතේ පවතින බවත් එහි දෛනිකව ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් සාම්ප්‍රදායික ආගමික කටයුතු පැවැත්වෙන බවත් ඊට ප්‍රතිචාර දක්වමින් පුරා විද්‍යා කොමසාරිස් ජනරාල්වරයා සිය වාර්තාවෙන් දැනුම් දී තිබෙනවා.

පසුගිය උදුවප් පුර පසොලොස්වක පොහෝදා මිහින්තලා රාජමහා විහාරස්ථානයට ජනතාව සහ අන්‍යාගමික නායකයින් ද කැඳවා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණා.