hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 02, පෙ.ව. 11:59



පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලේ, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය සහ තන්තිරිමලේ පිහිටි සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා සියලු පහසුකම් සලසා ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් සහ අනුරාධපුර පොසොන් උත්සව කමිටුවේ සභාපති ජනක ජයසුන්දර මහතා පැවසුවා.

“නැඟෙමු, පිබිදෙමු, යෙදෙමු, සුරකිමු මිහිඳු මාහිමි දෙසූ දහම්” යන්න තේමා පෙරදැරිව මෙවර මිහින්තලා රජමහ විහාරස්ථානය, ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය හා තන්තිරිමලේ යන පුදබිම් කේන්ද්‍ර කර ගනිමින් පොසොන් පින්කම් පැවැත්වෙනවා.

පොසොන් උත්සවය සඳහා අනුරාධපුර, මිහින්තලේ සහ තන්තිරිමලේ වැඳ පුදා ගැනීමට බැතිමතුන් දස ලක්‍ෂය ඉක්මවූ පිරිසක් පැමිණෙනු ඇති බවට අනුමාන කරන අනුරාධපුර පොසොන් උත්සව කමිටුව, පවත්නා ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් උපරිමයෙන් සැලසීමට කටයුතු සැලසුම් කොට ඇති බව පැවැසුවා.

මේ අතර පොසොන් වන්දනාවේ පැමිණෙන බැතිමතුන් සඳහා ජුනි මස 02 වැනිදා සිට 05 වැනිදා දක්වා බෙලිඅත්ත, ගාල්ල සහ කොළඹ කොටුව සිට සාමාන්‍ය දුම්රිය ගමන්වාරවලට අමතරව ඒමට සහ යෑමට විශේෂ දුම්රිය පහක් ධාවනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඊට අමතරව බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුව සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය හා උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඒකාබද්ධව විශේෂ බස් රථ සේවාවක්ද ක්‍රියාත්මක කෙරෙනවා.

මෙවර පොසොන් උත්සව සමයේදී අනුරාධපුර, මිහින්තලේ හා තන්තිරිමලේ ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් දන්සල් රැසක් ක්‍රියාත්මක වෙනවා.

ඒ අනුව විවිධ සංවිධාන මඟින් අනුරාධපුර නගරයේ පමණක් දන්සල් 106ක් ලියාපදිංචි වී ඇති අතර ඉන් දන්සල් 60ක් බත් දන්සල් බව අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා සඳහන් කළා.

මීට අමතරව පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා මිහින්තලේ නගරයේදී දන්සල් 16ක් හා තන්තිරිමලේ ප්‍රදේශයේ දන්සල් 08ක් පැවැත්වෙනවා.

අනුරාධපුර පූජා නගරය අවට අනුරාධපුර මහ නගර සභාව මඟින් තාවකාලික වැසිකිළි 450ක් සහ මිහින්තලේ ප්‍රාදේශීය සභාව මඟින් මිහින්තලේ පූජා භූමියේ තාවකාලික වැසිකිළි 100ක් පමණ ඉදි කොට තිබෙනවා.