hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 28, පෙ.ව. 10:05



මිහින්තලේ ප්‍රාදේශීය රෝහලේ පවතින ගැටලු රාශියක් හේතු කොටගෙන දැඩි අර්බුදකාරී තත්වත්වයක් හටගෙන ඇතැයි මිහින්තලේ අවට ගම්මානවල පදිංචිකරුවෝ පවසනවා.

මිහින්තලේ ග්‍රාම සේවා වසම් 25කට අධික සංඛ්‍යාවක ගම්මානවල ජනතාවට දෛනිකව හා නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට ඇති එක ම රෝහල වන්නේ මිහින්තලේ ප්‍රාදේශීය රෝහලයි.

බාහිර රෝගී අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය, සූතිකාගාර හා විද්‍යාගාර මෙන් ම මානසික රෝගී ප්‍රතිකාර වාට්ටුවකින් ද සමන්විත මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දෛනිකව රෝගීන් 400කට අධික සංඛ්‍යාවක් පැමිණෙන බව රෝහල් සේවකයෙක් සඳහන් කළා.

මෙම ජනතාවට ප්‍රතිකාර ලබාගැනීම ගැටලුවක්ව පවතින්නේ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය හා සෞඛ්‍ය කාර්ය සහායකයන්ගේ හිඟකමයි.

එම කාර්ය මණ්ඩලය 67 දෙනෙකුගෙන් සමන්විත වුව ද අද සිටින්නේ 17 දෙනෙකු පමණක් බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවා.

එයිනුත් වැඩි පිරිසක් කාන්තාවන් වන අතර ඔවුන්ට ගිලන් රථ සහායක හා ගිලන් රථ උපස්ථායක වැනි රාජකාරි ද පැවරී තිබෙනවා.

බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් තිදෙනෙකු දෛනිකව සේවයේ යෙදී සිටිය ද වෛද්‍ය සහායට හෝ ඖෂධවේදීන්ගේ සහායට මෙන් ම රසායනාගාර සහයක රාජකාරි සඳහා කනිෂ්ඨ සේවකයන් නොමැතිවීම හේතුවෙන් රෝගීහු මහත් අසීරුතාවට පත්ව සිටිනවා.

මිහින්තලේ රෝහලේ මීට පෙර ක්‍රියාත්මක වූ ළමා වාට්ටුව ද මේ වනවිට අක්‍රිය තත්ත්වයේ පවතින නිසා රෝහලට පැමිණෙන ළමා රෝගීන් කාන්තා වාට්ටුවට ඇතුළත් කිරීමෙන් බරපතළ ගැටලු පැනනැගී තිබෙනවා.

මෙම තත්ත්වය පිළිබඳව බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු කරන ලෙස ජනතාව ඉල්ලා සිටිනවා.