hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 12, පෙ.ව. 8:46



22 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සුවිශාල සහායක් දැක්වුව ද වෙනත් බලවේගයන් ක්‍රියාත්මක වීමෙන් එය මෙතෙක් සම්මත කර ගැනීමට නොහැකිව තිබෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

මෙම අදහස් පළ කළේ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පවතින ගැටළු පිළිබදව සාකච්ඡා කිරීම සදහා එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පෙරේදා(10) පෙරවරුවේ පැවති සුහද හමුවකදීයි.

රටේ අත්‍යවශ්‍යම ආයතනයක් ලෙස නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ ප්‍රමිතිය ඉහළ තත්වයට ගෙන ඒමට කටයුතු කරන බවද ඒ මහතා සදහන් කළා.

ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය තුළ තිරය පිටුපස විශාල කාර්ය භාරයක් සිදු කරන ප්‍රධාන ආයතනයක් ලෙස නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ඉටු කරනු ලබන සේවාව ප්‍රසංශනීය වන අතර, එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ගේ රාජකාරී සේවා කාලයට අමතරව තම නිවසේ සිට පවා ලබා දෙන සේවය අගය කල යුතු බව ද ඔහු කියා සිටියා.

වර්තමානය වන විට රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ මුල්‍යමය වශයෙන් තීරණ ගැනීම ඉතා අපහසු ක්‍රියාවක් වුව ද නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව මුහුණ දී ඇති පොදු ගැටළු හදුනා ගෙන ඒ සදහා විසදුම් ලබාදීමට පියවර ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සේවය සදහා පැමිණිමට අපේක්ෂාවෙන් සිටින නීතිඥවරුන්ට හා දැනට සේවය කරනු ලබන නිලධාරීන්ට තවදුරටත් දැනුම අවබෝධය ලබාදීම අරමුණු කර ගනිමින් විශ්ව විද්‍යාල මට්ටමින් නීති කෙටුම්පත් සම්පාදනය කිරීම පිළිබදව ඩිප්ලෝමා හා පශ්චාත් උපාධි පාඨමාලාවන් හදුන්වාදීමට කටයුතු කිරීම අතිශයින් වැදගත් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: