hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 මැයි 11, පෙ.ව. 10:47



මැති ඇමතිවරුන්ගේ නිවාසවලට අලාභ හානි කර ගිනිබත් කළ අවස්ථාවේදී එම නිවාස වල තිබී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොග පිටින් හමුවූ බව වාර්තා වනවා.

විශේෂයෙන් මේවන විට රටේ ජනතාව ගෑස්, පොහොර, ඉන්ධන නැතිව දුක් විඳින මොහොතකත් මැති ඇමතිවරු එම ද්‍රව්‍ය රැස් කර ගෙන ගබඩා කර තිබූ අයුරු දක්නට ලැබෙනවා.

ජොනී ඇතුළු සභාපතිවරුන්ගේ ගෙවල්වල ගෑස් තොග

කුරුණෑගල ප්‍රදේශයේ දී ජනතාව ගිනි තබා විනාශ කළ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව හා කුරුණෑගල ප්‍රාදේශීය සභා සභාපති අචල නිමන්ත යන අයගේ නිවෙස්වල තිබී කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩර 140ක් පමණ සොයා ගෙන තිබුණා.

මෙම සියලුම ගෑස් සිලින්ඩර මේවන විට ජනතාව රැගෙන ගොස් ඇතැයි වාර්තා වනවා.

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සතුව තිබූ කුරුණෑගල වැව පාරේ නිවෙසේ ලාෆ් ගෑස් සිලින්ඩර පමණක් අසූවකට වැඩි සංඛ්‍යාවක් තිබී ඇතැයි වාර්තා වනවා.

චමල්ගේ ගෙවල් දෙකක තොග ගබඩා

මේ අතර හිටපු ඇමැති චමල් රාජපක්ෂට අයත් නිවාස දෙකක සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්ට අයත් ගොවිපොළක තිබු රසායනික පොහොර තොගයක් ගොවීන්ට බෙදා දීමට විරෝධතාකරුවන් කටයුතු කර තිබුණා.

මෙම විරෝධතාකරුවන් තිස්සමහරාම කිරින්ද මාගම ප්‍රදේශයේ පිහිටි හිටපු ඇමැති චමල් රාජපකක්ෂට අයත් නිවසකට කඩා වැදී එහි ගබඩාවක සඟවා තිබූ යූරියා පොහොර මිටි 300ක්, ඩීසල් ලීටර් 3000ක්, වී මිටි 200ක තොගයක් සහ රතු පරිප්පු තොගයක් ප්‍රදේශයේ ජනතාවට බෙදා දී පසුව එම නිවසට ගිනිතබා විනාශකර තිබෙනවා.

එමෙන්ම හිටපු ඇමැතිවරයාගේ තිස්සමහරාම සේනපුර පිහිටි නිවසට හා කාර්යාලයට විරෝධතාකරුවන් පෙරේදා (09) රාත්‍රි පහර දී දැඩි අලාභහානි කර තිබූ අතර එම කාර්යාලයේ තිබූ ලිපි ලේඛන සියල්ලක්ම විනාශකර දමා තිබුණා.

මහීපාලගේ ගොවිපලේ පොහොර තොගයක්

මේ අතර උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්ට අයත් දිඹුලාගල බඳනාගල පිහිටි ගොවිපළකට ඊයේ (10) සවස තුනට පමණ කුපිත වූ ප්‍රදේශවාසීන් පිරිසක් ගිනි තබා දේපළවලට අලාභ හානි සිදු කර තිබෙනවා.

අක්කර 50 කින් සමන්විත මෙම ගොවිපළේ පිහිටි ගබඩාවක යූරියා පෝර මිටි 400කට ආසන්න ප්‍රමාණයක් සහ තවත් රසායනික පෝර මිටි තොගයක් තිබී ඇති අතර ඒවා ගොවීන්ගේ භාරයටද ගෙන තිබෙනවා.

එම ගොවිපල ගබඩාවේ තිබූ අත් ටැක්ටර් කීපයකට ද කුපිත වූ පිරිස් ගිනි තබා විනාශ කොට ඇති අතර ගබඩාවේ තිබූ වී මිටි විශාල ප්‍රමාණයකට ගින්නෙන් හානි වී ඇති බව ද පරීක්ෂණ සිදුකරන සිරිපුර පොලිසිය පැවසුවා.