hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මාර්තු 22, පෙ.ව. 11:57



ලෝක ආහාර සංවිධානය මඟින් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නවයක් සඳහා සහල්, පරිප්පු සහ පොල්තෙල් බෙදාදීම මේ දිනවල කෙරෙයි. එක් පවුලකට හාල් කිලෝ පනහක්, පරිප්පු කිලෝ විස්සක්, පොල්තෙල් ලීටර් හතරහමාරක් බෙදාදෙනු ලබනවා.

මෙම ආධාර දිය යුත්තේ අඩුආදායම්ලාභී සහ විවිධ ආර්ථික දුෂ්කරතාවලින් සහ රෝගී තත්ත්වයෙන් පෙළෙන පවුල්වලටයි.

නමුත් එදාවේලවත් සරි කර ගැනීමට නොහැකි පවුල් රාශියකට එම ආධාර ලැබී නොමැති බවට විශාල පිරිසක් මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත සිය දුක්ගැනවිලි ඉදිරිපත් කරමින් තමන්ටත් ආහාර ද්‍රව්‍ය ලබාදෙන ලෙස ඉල්ලීම් කළා.

ධනවත් ව්‍යාපාරිකයන්ගේ වැන්දඹු බිරින්දෑවරුන්ටත් විශ්‍රාමිකයන්ටත් රජයේ සේවකයන්ටත් රබර් සහ උක් වතු හිමියන්ටත් මෙම ආහාර සහ සහනාධාර ලබාදී ඇති බව පවසන පිරිස් තමන්ට එම ආධාර නොලැබුණු බවත් සඳහන් කරනවා.

විශේෂයෙන් වතු සහ ඒ ආශ්‍රිතව ජීවත්වන පවුල්වලට ආධාර කිසිවක් ලැබී නොමැති  බවත් පැවැසෙනවා.

මොනරාගල, මොනරකැලේවත්තේ ආර්. යුගරාජා මහතා මෙසේ කියා සිටියා.

“අපේ වතුයාය මීට වසර විස්සක පමණ කාලයක සිට වසා දමා තිබෙනවා. පවුල් එකසියදෙකක් ජීවත්වෙන්නේ එදිනෙදා කුලී වැඩ කරමින්. ඇතැම් අය සියඹලාණ්ඩුව ප්‍රදේශයේ කුලියට උක් ගස් කපනවා. මට අවුරුදු පහළොවට අඩු දරුවන් පස්දෙනකු සිටිනවා. පොඩි දරුවාට වයස අවුරුද්දක්වත් නැහැ. නමුත් අපේ පවුලට මෙම ආධාර ලැබෙන්නේ නැහැ. වැලියාය ග්‍රාමසේවා වසමේ පවුල් විසිහතකට පමණයි මෙම ආධාර  ලැබෙන්නේ. අපේ වත්තේ පමණක් ආධාර ලැබිය යුතු පවුල් එකසියදෙකක් ජීවත්වෙනවා. මෙම ආධාර බෙදාදීමේදී දමිළ පවුල් සම්පූර්ණයෙන්ම අමතක කර දමා තිබෙනවා. වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ අපට සාධාරණයක් ඉටුකරන ලෙසයි.”

ආහාර බෙදාදීමේ කටයුතු සම්බන්ධීකරණය කරන වර්ල්ඩ් විෂන් ආයතනයේ නියෝජිතයකුගෙන් කළ විමසුමකදී ඔහු මෙසේ සඳහන් කළා,

“සහනාධාර ලැබිය යුත්තන් තෝරාගත්තේ ගම් මට්ටමෙන් සිටින ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් යුත් කණ්ඩායමකින්. අපිට තේරෙනවා ආධාර ලැබෙන්නේ වැඩි ආදායම් තිබෙන අයට බව. සුදුස්සන් සිටින්නේ ඉතාමත් සීමිත පිරිසක්. සුදුස්සන් තෝරාගැනීමේදී නිර්ණායක 11ක් පාදක කරගත යුතුයි. ඒවා නම් පවුලේ සාමාජික සංඛ්‍යාව පහක් හෝ ඊට වැඩි වීම, දීර්ඝකාලීන ආබාධිත තත්ත්වයෙන් සිටීම, වකුගඩු, පිළිකා, ලාදුරු, තැලසීමියා වැනි නිදන්ගත රෝගවලින් පෙළීම, අවුරුදු පහට අඩු දරුවන් සිටීම, ස්ත්‍රී මූලික පවුලක් වීම, පිරිමි සහ කාන්තාවන් දෙපක්ෂයම වැන්දඹු වීම, ගර්භණී මවුවරුන් සහ කිරිදෙන මවුවරුන් සිටීම, සමෘද්ධිලාභීන් වීම, කිසිම ආදායම් මාර්ගයක් නොමැති වීම, අවුරුදු පහට අඩු පාසල් දරුවන් සිටීම හා දැඩි ආර්ථික අහේනියකින් පෙළීම යන කරුණුයි. අඩුම වශයෙන් ඒ නිර්ණායකයන් අනුව ලකුණු පහට වඩා වැඩියෙන් හිමිකරගන්නා පවුල්වලට මෙම ආධාර ලබාදිය යුතුයි. නමුත් ව්‍යාපාරිකයන්ගේ වැන්දඹු බිරියන්, ව්‍යාපාරිකයන්, විශ්‍රාමිකයන්, වැඩ තහනමට ලක්වූ නිලධාරීන් විශාල වශයෙන් උක් සහ රබර් වගා කර ඇති පිරිස් ආධාර ලබාගන්නවා. නමුත් ඉතාමත් දිළිදු අයට මෙම ආධාර ලැබී නැහැ.”

මොනරාගල ප්‍රාදේශීය ලේකම් චතුර සමරසේකර මහතා මෙසේ කියා සිටියා,

“මෙම ආහාර බෙදාදීම සඳහා පවුල් තෝරාගනු ලැබුවේ අපට මීට පෙර ලැබී තිබුණු දත්ත අනුවයි. විශාල පිරිසක් ආධාර තමන්ට නොලැබුණු බවට අපට පැමිණිලි කර තිබෙනවා. නමුත් ඒ අයට ආධාර ලබාදීමේ හැකියාවක් නැහැ. සියලු අභියාචනා අදාළ ආයතනවලට දැනුම්දීමට කටයුතු කරනවා.”