hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 23, පෙ.ව. 12:02



ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසූවේ මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, එම සේවා ව්‍යවස්ථා කෙටුම්පත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත්ය.

ඒ අනුව ග්‍රාමනිළධාරී සේවයට එක්වන නවක ග්‍රාම නිලධාරිවරයෙකුගේ මූලික වැටුප රු. 28,940 සිට රු. 30,140ක් දක්වා ඉහළ යනු ඇත. ග්‍රාම නිලධාරී සේවයේ 2 ශ්‍රේණියේ නිලධාරියෙකුගේ මූලික වැටුප රු.33,690 දක්වාත්, 3 ශ්‍රේණියේ ග්‍රාමනිළධාරී වරයෙකුගේ මූලික වැටුප රු.38,590ක් දක්වාත් ඉහළ යාමට නියමිතය.

එමෙන්ම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති පරිදි, අදාළ ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රු. 1000 සිට 2000 දක්වාත්, නගර සභා සීමාව තුළ රු. 1500 සිට 3000 දක්වාත්, වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව රු. 1500 සිට රු. 3000 දක්වාත් ඉහළ නැංවීමට තීරණය කර ඇත.

මීට අමතරව නිල ඇඳුම්, ගමන්, සන්නිවේදන සඳහා ගෙවනු ලබන දීමනා වැඩි කිරීම සඳහා, 2025 අය-වැය පිළියෙළ කිරීමේදී, මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර පියවර ගැනීමටද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාට නියම කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: