hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 14, ප.ව. 8:40



රට තුළ පසුගිය 09 වනදා ඇතිවූ කළහකාරී තත්වය අතරතුර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේගේ නාවලපිටිය පිහිටි කාර්යාලයට පහරදුන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේගේ පෞද්ගලික ලේකම්වරයා විසින් සැකකරුවන් 16 දෙනෙකු සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වෙත කල පැමිණිල්ලකට අනුව සිදුකල විමර්ශනයකදීයි.

කෙසේ වෙතත් එම සැකකරුවන් අද නාවලපිටිය මහේස්ත්‍රාත් නිලන්ත විමලවීර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් රුපියල් ලක්ෂයක් බැගින් වූ පුද්ගලික ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

අධිකරණයේදී නීතීඥවරුන් දෙදෙනෙකු සැකකරුවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව සිටි බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජතික සංවිධායක හා හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අනුරාධපුර නිවෙසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය එම ව්‍යපාරිකයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

තිදෙනකු අනුරාධපුර නගරයේ පදිංචිකරුවන් වන අතර එක් අයකු මිහින්තලේ පදිංචිකරුවෙක්.

සැකකරුවන් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසන්ත ලක්මාල් පෙරේරා යන අයවලුන් ගේ නිවෙස් ගිනි තබා දේපලවලට හානි කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද (14) සවස අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් 05 දෙනකු ලබන 18 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රානි අත්තනායක මහත්මිය නියම කළා.

ඉකුත් 09 වෙනිදා රාත්‍රීයේ දී අයුතු ජන රාශියක සාමාජිකයින් වී නිවෙස් ගිනි තබා දේපොලවලට හානි කිරීමේ චෝදනා මත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු උඩුගම්පල, කෙහෙල්බද්දර, වීදියවත්ත, මදුරුවිට යන ප්‍රදේශවල පදිංචිකරුවන් පස්දෙනකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.

එමෙන්ම හිටපු අමාත්‍යවරුන් වන එස්.එම් චන්ද්‍රසේන, චන්න ජයසුමන යන මහත්වරුන්ගේ නිවෙස්වලට පහරදී අලාභ හානි සිදුකිරීම් සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර හිමිනමක්ද සිටින බවයි.