hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 මැයි 31, ප.ව. 1:31



නිලධාරීන්ගේ අදහස් නොසලකා හැර තමන්ගේ අදහස් මත පමණක් හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා කටයුතු කළ බව ප්‍රධාන කෘෂි බෝග භාරව කටයුතු කළ බෝග නායකවරුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවේ පවසා ඇති බව පුවත් පත් වාර්තා කරනවා.

නව කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩ භාර ගැනීමෙන් අනතුරුව අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමඟ ඉකුත් 27 වනදා සාකච්ඡාවක් පැවැත්වූ අතර එම සාකච්ඡාවේදී නිලධාරීහු මේ බව පවසා තිබෙනවා.

රටේ කෘෂිකර්මාන්තය ඉතාමත් අවාසනාවන්ත තත්වයකට පත් වන තුරු එසේ සිදු නොවීමට ගත යුතු පියවර පිළිබඳ අමාත්‍යවරයාට උපදෙස් නොදුන්නේ මන්දැයි අමරවීර මහතා එම රැස්වීමේ නිලධාරීන්ගෙන් විමසූ අවස්ථාවේදී මෙම කරුණු හෙළි කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන් ප්‍රධාන භෝග දහතුනක් වෙනුවෙන් පත් කර ඇති බෝග නායකවරු එම බෝග වර්ග වල අස්වනු හිඟ වීම හා ගොවීන් වගාවෙන් ඈත් වීම පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් නොකළේ දැයි අමරවීර මහතා එම නිලධාරීන්ගේ විමසා තිබෙනවා.

තමන්ගේ හඬට කන් නොදී අමාත්‍යවරයා හිතුමතේ කටයුතු කළ බවටත් මේ හේතුවෙන් කෘෂිකර්මාන්තය බරපතළ කඩා වැටීමකට ලක් වූ බවටත් බෝග නායකවරු චෝදනා කොට ඇත්තේ එම අවස්ථාවේදීයි.