hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 11, ප.ව. 1:54



ඔබේ‍ සක්‍රීය දෙශපාලනය රටට අත්‍යවෂ මෝහොතක් චීන තානාපති මෛත්‍රිට කියයි.

චීන තානාපති කී සොන්හොංග් මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (10) පොළොන්නරුව, නවනගරයේ හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පැවැත්වුණා

චීන තානාපතිවරයා තම නිවසට පැමිණීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතියක් පුද කර ඇති හිටපු ජනාධිපතිවරයා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඓතිහාසික වටිනාකම සහ එහි වැදගත්කම පිළිබඳව තානාපතිවරයා වෙත කරුණු පැහැදිලි කර තිබෙනවා.

විශේෂයෙන්ම චීනය දශක කිහිපයක සිට ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා චීන රජය වෙත විශේෂ ස්තුතිය පලකර තිබෙනවා.

පොළොන්නරුවේ ඉදිකරන ලද දකුණු ආසියාවේ විශාලතම වෘක්කවේද රෝහල පරිත්‍යාගයක් ලෙස ලබාදීම සම්බන්ධයෙන් ද මෛත්‍රීපාල සිරිසේන මහතා චීන ජනාධිපතිවරයා වෙත සහ චීන රජය වෙත තම ප්‍රසාදය පල කළ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තම පාලන කාලය තුළ චීනය සමග ඉතා සුහදශීලීව කටයුතු කිරීමට හැකිවූ බවත්, එමගින් ශ්‍රී ලංකාව වෙත චීනයේ උදව් උපකාර විශාල වශයෙන් ලබාගැනීමට හැකිවූ බවත්, හිටපු ජනාධිපතිවරයා චීන තානාපතිවරයා වෙත ප්‍රකාශ කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මිත්‍ර රටක් ලෙස ඉතා ඕනෑකමින් ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව වෙත අවශ්‍ය සහයෝගය ලබාදෙන බවයි.

එමෙන්ම චීනයේ විශේෂ පරිත්‍යාගයක් ලෙස ඖෂධ තොගයක් හෙට දිනයේ ලබාදෙන බවත්, ඉදිරියේදී තවත් විශේෂ ආධාර වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ද පොරොන්දු වී තිබෙනවා.

පසුගියදා ඇති වූ රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතා වෙත යොමු කල ලිපිය සම්බන්ධයෙන් චීන තානාපතිවරයා ප්‍රසාදය පලකර අතර රටේ සිටින පරිණත නායකයෙකු ලෙස සිදු කරන ලද එම ක්‍රියාව අගය කර තිබෙනවා.

එමෙන්ම තානාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ඇත්තේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයකු වශයෙන් මේ මොහොතේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මගහරවා ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ සක්‍රීය දායකත්වය අත්‍යාවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම චීන රජයේ අභිප්‍රාය බව පැවසූ චීන තානාපතිවරයා ඒ සඳහා අවශ්‍ය සහයෝගය බලාපොරොත්තු වන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රකාශ කර තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා චීන තානාපති ආර්යාව සහ දූත පිරිසක් සහභාගී වී තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: