hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 29, ප.ව. 2:48



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරු ගුවන් සමාගමට අයත් QS 469 ගුවන් යානයෙන් අද (29) පිලිපීනයේ මැනිලා නුවර බලා පිටත් වී තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා විදෙස් ගත වී ඇත්තේ විශ්ව සාම සංවිධානය මෙහෙයවනු ලබන රටවල් 28 ක් නියොජනය කරමින් පැමිණෙන රාජ්‍ය නායකයන් සහ පාර්ලිමේන්තු නියෝජිතයන් සහභාගීවන “ජාත්‍යන්තර නායකත්ව සමුළුව 2022” සමාරම්භක උළලේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීම සඳහායි.

ලබන 30 සහ 31 වැනිදා යන දෙදින ජාත්‍යන්තර නායකත්ව සමුළුව පැවැත්වෙන අතර, ප්‍රධාන වශයෙන් මෙවර තේමාව වී ඇත්තේ “කොරියානු අර්ධද්වීපය ඒකාබද්ධ කිරීම උදෙසා සාම ක්‍රියාවලියට සංස්කෘතිකමය අඩිතාලමක් යෙදීමයි” යන්නයි.

රටවල් රැසක් සහභාගි වන මෙම සමුළුවේ සමාරම්භක ප්‍රධාන ආරාධිත දේශනය කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට හිමි වීම ශ්‍රී ලංකාවට හිමි වූ සුවිශේෂිත අවස්ථාවක් ලෙස සැලකිය හැකි බවයි වාර්තා වන්නේ.

ලෝකයේ වැදගත් රාජ්‍ය නායකයන් සහභාගීවන මෙම ජාත්‍යන්තර සමුළුවේදී විදේශ රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු මුණගැසීමට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා බලාපොරොත්තු වනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය උදෙසා විදේශ රටවලින් ලබාගත හැකි සහාය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කිරීමට හිටපු ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.