hit counter

2026 නොවැම්‍බර් මස 03 වන අඟහරුවාදා

2026 නොවැම්‍බර් 03, ප.ව. 4:52



ශ්‍රී ලංකාවේදී පැවති ආසියානු විකාශන සංගමයේ (ABU) 63 වන මහා සමුළුව ඇතුළු වැඩසටහන් මාලාවේ සත්කාරකත්වය දැරීම වෙනුවෙන් MTV නාලිකා (පුද්ගලික) සමාගම (MTV Channel (Pvt) Ltd) වෙත රුපියල් මිලියන 104 ක් ලබාදීම සිදුවූයේ මුදල් අමාත්‍යාංශයෙන් හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හෝ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් නොවන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

එමෙන්ම සමුළුවට සත්කාරකත්වය දැක්වීම සඳහා MTV නාලිකා (පුද්ගලික) සමාගම තෝරාගත්තේ රජය මැදිහත්වීමකින් ද නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (නොවැම්බර් 03) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ ABU සමුළුව සඳහා පෞද්ගලික මාධ්‍ය ආයතනයකට සත්කාරකත්වය ලබාදීමට තිබූ නිර්ණායකය කවරේද යන්නයි.

ඊට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, සත්කාරකත්වය දරන්නේ කවර ආයතනයක්ද යන්න තෝරාගනු ලැබුවේ ශ්‍රී ලංකා රජය විසින් නොවන බවත් ABU ආයතනයේ විධායක මණ්ඩලය විසින් වන බවයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා…..

”රජය කිසිදු ආකාරයකින් භාණ්ඩාගාරයේ බදු මුදල් වියදම් කිරීමක් මේ වෙනුවෙන් කරලා නැහැ.

ආසියානු විකාශන සංගමය (ABU) කියන්නේ 1964 වර්ෂයේදී ආරම්භ කරපු අවුරුදු 62ක ඉතිහාසයක් පවතින ආයතනයක්. රටවල් 66ක පෞද්ගලික සහ රාජ්‍ය මාධ්‍ය ආයතන 225ක් පමණ එහි සාමාජිකයන් ඉන්නවා.

ලංකාවේ පැවැත්වුණු උත්සවයටත් 350ක පමණ පිරිසක් සම්බන්ධ වෙලා තිබුණා.

සත්කාරකත්වය දරන්නේ කවර ආයතනයක්ද කියන එක තෝරගන්නේ ශ්‍රී ලංකා රජය හරි වෙනත් රජයක් විසින් නෙවෙයි, ABU ආයතනයේ විධායක මණ්ඩලය විසින්.

ඔවුන්ගේ නිර්දේශ සහ තෝරා ගැනීම අනුව තමයි ලංකාවේ පෞද්ගලික ආයතනයකට මේ සත්කාරකත්වය ලබාදීම සඳහා අවස්ථාව හිමි වෙන්නේ.

ලංකාවෙත් රජයේ නාලිකා දෙක ඇතුළුව නාලිකා 6ක් පමණ ABU එකේ සාමාජිකත්වය දරනවා.

ඊළඟට, මේකට රුපියල් මිලියන 104ක් වැය කරලා තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයෙන්වත්, විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්වත්, රාජ්‍ය භාණ්ඩාගාරයෙන්වත් නෙවෙයි.

අපේ තිබෙනවා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ;

ඔවුන්ට මුදල් ලැබෙන්නේ ලංකාවට එන සංචාරකයින්ගෙන් අය කරගන්නා ඩොලර් 5ක මුදලිනුයි, හෝටල් ක්ෂේත්‍රයේ ආදායමෙන් ලැබෙන 1%ක මුදලිනුයි.

මේ අරමුදලෙන් 70%ක්ම වියදම් කරන්නේ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමටයි.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මීට කලිනුත් රග්බි කණ්ඩායමට, කොළඹ මැරතන් තරගයට, ගුවන් හමුදා පාපැදි තරගයට, දෙරණ නාලිකාවේ කයිට් ෆෙස්ටිවල් එකට, සහ රූපවාහිනී සංස්ථාවේ උත්සවවලට සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහය ලබා දීලා තියෙනවා.

මේ අවස්ථාවේදීත් ලෝකයේ පිළිගැනීමට ලක්වෙච්ච මාධ්‍ය ආයතන ලංකාවට පැමිණීම හරහා ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට ලැබෙන ජාත්‍යන්තර ප්‍රවර්ධනය සැලකිල්ලට ගෙනයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙම මුදල ලබා දී තිබෙන්නේ.

මෙය කිසිසේත්ම භාණ්ඩාගාරයෙන් යොදපු හෝ මහජනතාවගේ බදු මුදලක් නෙවෙයි”