hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මැයි 28, පෙ.ව. 7:25



බෞද්ධ ආගමට අපහාස වන පරිදි “මෝඩාභිමානය” නැමැති වීඩියෝ වැඩසටහනක් ඉදිරිපත් කළ ජයනි නටාෂා එදිරිසූරිය  සිංගප්පූරුව බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපොළට ආ අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය පවසනවා. 

කොළඹ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ජයනි නටාෂා එදිරිසූරිය අද අලුයම 01.20 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන පරිශ්‍රයේ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

මේ වනවිට මෙම කාන්තාව කොළඹ, නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

පසුගිය සෙනසුරාදා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක පැවති ප්‍රහසන වැඩසටහනකදී අදාළ තරුණිය විසින් බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයන් කිහිපයක් සිදුකර තිබුණා.

එම ප්‍රකාශයන් පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර ඊට බොහෝ දෙනෙකුගේ විරෝධය එල්ල වීමත් සමග ඇය ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් ද සිදුකර තිබුණා.

කෙසේවෙතත් අදාළ ප්‍රකාශ සිදුකළ තරුණිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ලැබී තිබූ අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම තරුණිය ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 කටුනායක ටී.කේ.ජී.කපිල