hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූලි 18, ප.ව. 1:19



මේවන විට ජාතික ඉන්ධන අවසර පත ලබාගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 1.5ක් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) අධ්‍යක්ෂ දසුන් හෑගොඩ මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවා.

ජනතාවට ඉන්ධන නිකුත් කිරීම සදහා ජාතික ඉන්ධන අවසර පත හදුන්වා දෙනු ලැබුවේ පසුගිය 16 වනදායි. එම ක්‍රමවේදය ක්‍රියාත්මක වූ විට ජනතාවට විවිධ තාක්ෂණික බාධාවලට මුහුණ පෑමට සිදු වූ බව වාර්තා වුණා.

ඒ එහි ආරම්භක මොහොතේදී බොහෝ පිරිසක් එකවර ලියාපදිංචිවීමට උත්සාහ කිරීමත් සමග අදාළ වෙබ් අඩවිය භාවිත කිරීමේදී යම් යම් තාක්ෂණික දෝෂ ඇතිව තිබුණා.

අප ඒ පිළිබඳව කළ විමසීමකදී දසුන් හෑගොඩ මහතා සඳහන් කළේ විශාල පිරිසක් එකවර සේවා ලබා ගැනීමේදී යම් ගැටලුකාරී තත්වයක් ඇති වුවද මේ වනවිට එම තාක්ෂණික දෝෂ හඳුනා ගෙන එම ගැටලු අවම කර ගෙන ඇති බවයි.

මෙම නව ක්‍රමවේදය හරහා ඉදිරියේදි පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කරන බවයි ඔහු කියා සිටියේ.

ලියාපදිංචි වන්න

www.fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස අදාළ ලියාපදිංචිවීම සිදුකළ හැකිය.

මෙහිදී පාරිභෝගිකයින්ට තම ජාතික හැඳුනුම්පත් අංකය, විදෙස් ගමන් බලපත් අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අංකය භාවිතා කර තම වාහනය ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි කළ හැකියි. භාෂා ත්‍රිත්වයෙන්ම ලියාපදිංචි වීමට අවස්ථාව සලසා තිබෙනවා.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පැවසූවේ එහිදී තොරතුරු ඇතුලත් කිරීමේදී නිවැරදිව තොරුතුරු ඇතුලත් කළ යුතු බවයි.

එක් පුද්ගලයෙකුට ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක් පමණයි. ඒ අනුව එක් ලියාපදිංචි වීමකට අදාළව එම වාහනයට අනන්‍ය වන QR Code එකක් ලබාදෙන අතර මේ මගින් එකම වාහනයක් දෙවරක් ලියාපදිංචි වීම වැළකෙයි.

එම QR Code එක ඉන්ධනහල වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ වාහනයට හිමි ඉන්ධන ප්‍රමාණය ලබාදීමට කටයුතු කරනු ඇති.

වාහනයේ අග අංකයට අනුව වාහන සඳහා ලබාදිය හැකි ඉන්ධන ප්‍රමාණයද, ඒ ඒ වාහන සඳහා ඉන්ධන ලබාදීමේ දින ප්‍රකාශයට පත් කෙරෙනවා.

ඉන්ධන දෙන්න ජංගම සේවයක්

මේ අතර ත්‍රිරෝද රථ සහ ජෙනරේටර් අවශ්‍යතා සඳහා ඉන්ධන සැපයීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස ජංගම ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමයක් භාවිතා කිරීමට සිපෙට්කෝ සමාගම පියවර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසුවා.

ත්‍රිරෝද රථ, භාණ්ඩ බෙදා හැරීම් සිදුකරනු ලබන යතුරුපැදි සහ කෑන් සඳහා ඉන්ධන පිරවුම්හල්වලින් බැහැරව ඉන්ධන බෙදහැරීමටයි පියවර ගෙන ඇත්තේ.

විශාල විවෘත ස්ථානවල ජංගම ඉන්ධන ට්‍රක් රථ මගින් එලෙස ඉන්ධන බෙදාහැරිමට කටයුතු කරන බව අමාත්‍යවරයා සදහන් කළා.

මෙම ක්‍රමවේදය  දිවයින පුරා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: