hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 05, ප.ව. 1:30



අඩු ආදායම්ලාභීන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයෙන් ලබා ගත් නිවාස ණය වෙනුවෙන් ගෙවන ලද ණය වාරික වලින් එම කාර්යාලයේ ඇතැම් නිලධාරීන් රුපියල් කෝටි ගණනාවක මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් ඒෂියන් මිරර් වෙත පැවසුවා.

ඒ හේතුවෙන් දැනටමත් එම කාර්යාලයේ ලිපිකරුවන් දෙනෙකුගේ හා ලිපිකාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනමට ලක් කර ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළා.

මෙම නිවාස ණය අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස ඉදිකිරීමට ලබා දී ඇති අතර ආබාධිත රණවිරුවන් ද එම ණය මුදල් ලබා ගෙන ඇති අතර ලබා ගත් ණය මුදල් කනකර උගස්කර, කුලී වැඩ කර, මෙන්ම පදිංචි ඉඩම උගස් කර ද නිසියාකාරව ණය මුදල් ගෙවා ඇති අතර එලෙස ණය ලබා ගත් සමහර පුද්ගලයන් ඔත්පලව සිටියත් ණය මුදල් නිසියාකාරව ගෙවා තිබූ බව එම නිලධාරියා පවසා සිටියා.

ලබා දුන් ණය අය කර ගැනීම සඳහා පාර්ශව දෙකක් යොදවා ඇති අතර ණය අයකර ගැනීමේ නිලධාරීන් ලෙස බාහිර පුද්ගලයන්ට අමතරව දැනට නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරන සේවකයන්ට ද ඒ සඳහා අවස්ථාව ලබා දී මාසික වැටුපට අමතරව ඔවුන්ට එම මුදල් වලින් වට්ටමක් ද ලබා දීමට කටයුතු යොදා තිබියදී මෙම වංචාව සිදුකර ඇතැයි ද දැනගන්නට තිබෙනවා.  

ණයලාභින් කීපදෙනෙකු ඔවුන් ණය වාරික වශයෙන් ලබා දුන් රුපියල් 50,000, 60,000 100,000 ආදී  මුදලින් කාර්යාලයට ලැබී ඇත්තේ රුපියල් 15, 50, 100, 200 හා 500 වැනි අඩු මුදල් ප්‍රමාණයන් බව ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන ලෙස  වත්මන් දිස්ත්‍රික් කළමනාකාර වෙත ලද ඉකුත් මාර්තු මාසයේ ලද නිර්නාමික දුරකථන ඇමතුම් කීපයක් අනුව සිදු කළ මූලික විමර්ශනවලදී මෙම මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් තොරතුරු මුලින්ම අනාවරණය වී ඇතැයි එම නිලධාරියා සඳහන් කළා.

ඒ අනුව මේ වන විට  සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මුදල් අයකර ගැනීමේ නිලධාරීන් ලෙස අමතර ආදායමක් ලබා ගත් ආයතනයේ සේවය පුද්ගලයන් කීපදෙනෙකු සහ තවත් නිලධාරීන් කීප දෙනකු එක්ව මෙම වංචාව සිදුකර ඇති බවයි.

ණය වාරික ලබා දීමෙන් පසු ණය හිමියාට බිල් පොතේ මුල් පිටපතේ ලබා දුන්  මුදල නිසි අයුරින් සටහන් කර ලබා දී දෙවන සහ තෙවන පිටපත් වල  රුපියල් 15, 30 ,100 , 200, 500 ආදී බැගින් ඉතා සුළු මුදලක් සටහන් කොට කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇතැයිද කාර්යාලය තුළ රාජකාරි කරන පරිගණක ක්‍රියාකරුවන් විසින් ඒ අනුව එහි දත්ත වෙනස් කර මෙම මුදල් වංචාව කණ්ඩායමක් ලෙස 2015 අග භාගයේ සිට  2018 වසර දක්වා  සිදුකර ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇතැයි එම නිලධාරියා කියා සිටියා.

මෙම මහා පරිමාණ මුදල් වංචාවට සම්බන්ධව දැනට වැඩ තහනමට ලක් කර සිටින ලිපිකරුවන් සිව්දෙනා සහ දැනට සේවය කරන ඇතැම් නිලධාරීන් එලෙස වංචාකාරී ලෙස ලබාගත් මුදල් යොදවා සුඛෝපභෝගී ජීවිත ගත කරන බවත් ඔවුන් උසස් තත්වයේ ඇඳුම් පැළඳුම් ආහාරපාන මෙන්ම සුවඳ විලවුන් කුරියර් සේවාව හරහා ආයතනය වෙත ද සපයා ගෙන තිබූ බවත්  ඊට අමතරව විනෝද චාරිකා සඳහාද සහභාගි වී තිබූ බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ දිස්ත්‍රික් කළමනාකරු පි.ඒ.ඩි.එස්.වික්‍රමසිංහ මහතාගෙන් ඒෂියන් මිරර් කළ විමසීමේදී මෙසේ සඳහන් කළා,

”ඔව්, මුදල් වංචාවක් සිදු වෙලා තිබෙනවා. මා මේ පිළිබඳ දැනගත් දිනම ප්‍රධාන කාර්යාලයේ  සාමාන්‍යධිකාරීතුමාට ලිඛිතව දැනුම් දීමේ ප්‍රතිඵලයක් ලෙස  අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කෙරෙනවා. ඒ වගේම  නිවාස සහ නාගරික සංවර්ධන  අමාත්‍යාංශයේ ලේකම් කළුතර, දිසාපතිතුමාට කරන ලද ලිඛිත දැනුම් දැනුම්දීමක් අනුව එතුමාගේ අධික්ෂණය යටතේ වෙනම විගනන පරීක්ෂණයක් ද සිදු කිරීමට ද නියමිතයි.”

බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන් ජයසිංහ