hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 15, පෙ.ව. 10:08



2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ දී ශ්‍රී ලංකාවේ අභිමානය ජාත්‍යන්තරය ඉදිරියේ ඉහළින් තබා මල්ලව පොර තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනූ නෙත්මි අහිංසා දැරිය පසුගියදා මෙරටට යළි පැමිණියා.

එසේ පැමිණි ඇයව පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ඇයගේ පවුලේ සාමාජිකයින් ද එක්ව සිටියා.

නෙත්මිගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතීමට සහ ඇය වෙනුවෙන් උපහාර දැක්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් විශේෂ පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබුණා.

මෙම උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන පරිශ්‍රයේදියි.

එහෙත් අදාළ උත්සවයට පැමිණීමට ඇයට ප්‍රවාහන පහසුකම් ද නොතිබුණු අතර, ප්‍රවාහන පහසුකම් ලබා දී එම උත්සවයට ඇයව පුහුණුකරු සමග ගෙන යාමට එම ප්‍රදේශයේ (ගිරිඋල්ල) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ වාහනයක් ලබාදීමට එකඟ වී තිබු බව මව්බිම පුවත්පත වාර්තා කර තිබුණා.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්වීමට සූදානම් කර තිබූ උත්සවයට ගෙන නොගොස්, ඇයව එම වාහනයෙන් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත ගෙන යාමටයි පොදුජන පෙරමුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කටයුතු කර ඇත්තේ.

නෙත්මි අහිංසා දැරිය නොමඟ යවා තමා හමුවීමට කැඳවාගෙන ආ බවට මව්බිම පුවත්පතේ පළ වූ පුවතක් ගැන විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි හා හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා තංගල්ල පොලිසියට ඊයේ (14) පැමිණිල්ලක් කර තිබෙනවා.

මේ අතර නෙත්මි අහිංසා හමු වී ඇයට මූල්‍යමය ත්‍යාගයක් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව නෙත්මි අහිංසා ජීවත්වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙල්පල්ල ග්‍රාමයට ගිය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පෞද්ගලික මුදල් ත්‍යාගයක් ඇයට සහ ඇයගේ පුහුණුකරු වන ටී.එස්. සුරංග මහතාට ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නෙත්මිට ලක්‍ ෂ3ක්ද පුහුණුකරුට ලක්‍ෂ 2ක්ද පිරිනමා තිබෙනවා.

නෙත්මි අහිංසා මුණ ගැසුණු ක්‍රීඩා අමාත්‍යවරයා ඇය පුහුණුවීම් කටයුතු කරනු ලබන දුෂ්කර ස්ථානය දැක බලවත් කනගාටුවට පත්ව ඇති බවද දැනගන්නට තිබෙනවා.

ඒ අනුව එම ස්ථානය වෙනුවට ක්‍රීඩා අමාත්‍යාංශයේ අරමුදලින් පුහුණුවීම් කළ හැකි සුදුසු ස්ථානයක් සාදා දෙන බවද එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා ඇයට පොරොන්දු වී ඇතැයිද පැවසෙනවා.

කෙසේ වෙතත් නෙත්මිත්, ඇයගේ දෙමවුපියන් සහ ඇයගේ පුහුණුකරු සමඟ දීර්ඝ වශයෙන් පිළිසඳරේ යෙදුණු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඇයටත්, ඇයගේ පුහුණුකරුටත්, ශ්‍රී ලංකා මල්ලවපොර ජාතික සංචිතයෙහි සිටින අවුරුදු 16ක් වයසැති නිපුනි ධර්මදාස ක්‍රීඩිකාවටත්, මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර කාන්තා ඉසව්වේ කිලෝග්‍රෑම් 53 බරපන්තිය යටතේ තරග වදිමින් සිවුවැනි ස්ථානය දිනාගත් චමෝද්‍යා කේෂාණිටත් මුදලින් ආධාර ලබා දී තිබෙනවා.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අරමුදලින් මුදල් ත්‍යාගයක් ජනාධිපතිවරයාගේ මැදිහත් වීම යටතේ ලබාදීමට කටයුතු කරන බව පැවැසූ ක්‍රීඩා අමාත්‍යවරයා මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නෙත්මිටත්, ඇයගේ පුහුණුකරු සුරංග මහතාට හා මල්ලවපොර සංගමයේ සභාපති සරත් හේවාවිතාරණ, ලේකම් අජන්ත රත්නායක යන මහත්වරුන්ට අද (15) පෙරවරු 10.30 ක්‍රීඩා අමාත්‍යාංශයේදී මුණ ගැසෙන ලෙස පවසා ඇතැයිද වාර්තා වෙනවා.