hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 17, ප.ව. 3:08



“බල පොරය නවත්වන්න – පාර්ලිමේන්තුවේ පොදු එකඟත්වයකින් නව ජනාධිපතිවරයා තෝරාගන්න” යන ලිපි ශීර්ෂය යටතේ NextGenSL කණ්ඩායම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ මොහොතේ ලංකාව මුහුණ දෙමින් සිටින්නේ ඉතිහාසයේ මුහුණ දුන් දැවැන්තම අර්බුදයට බවත් මෙම අර්බුදයෙන් ගොඩ ආ හැකි වන්නේ සුවිශාල සාමූහික ප්‍රයත්නයක් හරහා පමණක් බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

එම සම්පුර්ණ නිවේදනය පහතින්,

බල පොරය නවත්වන්න – පාර්ලිමේන්තුවේ පොදු එකඟත්වයකින් නව ජනාධිපතිවරයා තෝරාගන්න!

ලබන ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන නව ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීමට මේ වන විට අපේක්ෂකයන් සිව් දෙනෙකු නිල වශයෙන් ඉදිරිපත් වී තිබේ. ඇතැම් විට මේ අපේක්ෂකයන් සංඛ්‍යාව ඉදිරියේදී තවත් ඉහළ යාමට හැකියාව ඇත.

ජනපති තෝරාගැනෙන රහස් ඡන්ද විමසීම සම්බන්ධයෙන් උද්ගතව ඇති මෙම තරගකාරීත්වය නිසා ම මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ සහය එක් එක් අපේක්ෂකයන් වෙත ලබාගැනීම සඳහා විවිධාකාරයේ රහස් සාකච්ඡා, රහසිගත ගිවිසුම්වලට එළැඹීම්, වරදාන හා වරප්‍රසාද පොරොන්දු වීම්, අත යට සිදුවන මුදල් ගනුදෙනු පිළිබඳ නොයෙකුත් කතා අසන්නට ලැබේ. ලංකාවේ 74 වසරක දේශපාලන සංස්කෘතිය පිළිබඳ අප දැනුවත් නිසා ඒ කිසිවක් විශේෂයෙන් පුදුමය දනවන කාරණා වන්නේ නැත.

එහෙත් ඔබ අප අමතක නොකළ යුතු කාරණය වන්නේ මේ මොහොතේ ලංකාව මුහුණ දෙමින් සිටින්නේ ඉතිහාසයේ අප මුහුණ දුන් දැවැන්ත ම අර්බුදයට බවයි. මේ අර්බුදයෙන් අපට ගොඩ ආ හැකි වන්නේ සුවිශාල සාමූහික ප්‍රයත්නයක් හරහා පමණි. මේ මොහොතේ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනෙන ඡන්ද විමසීම සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය විග්‍රහ කරන විට අපට පෙනී යන්නේ එබඳු සාමූහික ප්‍රයත්නයක ඡායාවක්වත් පෙනෙන්නට නැති බවය. ඒ වෙනුවට අපට පෙනෙන්නට ඇත්තේ විශාල බල පොරයකි.

එමනිසා අප පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම පක්ෂවලින් මේ මොහොතේ ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවේ පොදු සහ ඒකමතික එකඟත්වයකින් නව ජනාධිපතිවරයෙකු පත් කරගන්නා ලෙස ය. ඒ සමග ම නව අගමැතිවරයෙකු ද, සර්ව-පාක්ෂික කැබිනට් මණ්ඩලයක් ද පත් කරගෙන පොදු අවම වැඩපිළිවෙලක් (common minimum programme) තුළ සීමිත කාලයකට නව රජයක් බිහි කරන ලෙස ය.

මෙබඳු දැවැන්ත අර්බුදයක් විසඳා ගැනීම සඳහා අවශ්‍ය පුළුල් ප්‍රතිසංස්කරණ ඵලදායීව සිදු කළ හැක්කේ එබඳු සර්ව-පාක්ෂික එකඟත්වයක් තුළින් පමණකි.

එබඳු ක්‍රියාමාර්ගයක් සඳහා මූලික පියවර තැබීමේ ස්වර්ණමය අවස්ථාවක් වන්නේ ජනපතිවරයා තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සිදුකෙරෙන ඡන්ද විමසීමයි. එය බල පොරයකට නිමිත්තක් කර නොගෙන පොදු එකඟතාවක් සඳහා රුවන් දොරටුවක් කරගන්නා ලෙස අප සියලු දේශපාලන පක්ෂවලින් කාරුණිකව ඉල්ලා සිටිමු.

-NextGenSL කණ්ඩායම