hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 08, ප.ව. 3:12



ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR කේතයේ නව ලියාපදිංචි කිරීම් නැවත ආරම්භ කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් QR කේතයේ නව ලියාපදිංචි කිරීම් අවසන් වී ඇති බවත් ඒ අනුව නව ලියාපදිංචි කිරීම් අද පෙරවරුවේ ආරම්භ කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

පසුගිය දින දින දෙක තුළ පුද්ගලයින්ට ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි වීමට හැකියාවක් ලැබී තිබුණේ නැහැ.

ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමය යටතේ මේ වන විට මිලියන 5.5 ක පිරිසක් ලියාපදිංචි වී සිටිනවා.

මෙම ක්‍රමය යටතේ පිරවුහල් මඟින් ඉන්ධන නිකුත් කිරීමේ දෙවන සතිය අද ආරම්භ වනවා.

මේ අතර පොදු ප්‍රවාහනයේ යෙදී සිටින ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය වෙන් වෙන්ව හඳුනාගෙන එය වෙනුවෙන් වෙනම QR කේතයක් මගින් ලංගම ඩිපෝ සහ දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වෙතින් ලබා දීමට වැඩපිළිවෙලක් එළඹෙන සතිය වන විට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

අද (08) උදෑසන ප්‍රවාහන අමාත්‍යවරයා සහ නිළධාරීන් සමග ඒ් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබුණා.

එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන තුරු එම අවශ්‍යතා ලංගම ඩිපෝ මගින් සහ මාකුඹුර සහ බැස්ටියන් මාවත ඉන්ධන පිරවුම්හල් මගින් සිදු කිරීමට සැලසුම් කර ඇත තිබෙනවා.

එමෙන්ම වෘත්තීය ත්‍රී රෝද රථ සහ කුලී රථ වෙන් වෙන්ව හඳුනාගෙන ඔවුන්ට ලබා දී ඇති පොදු ඉන්ධන කෝටාවට අමතරව තවත් ඉන්ධන ප්‍රමාණයක ලබා දීම වෙනුවෙන්ද අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී ගමනාගමන කොමිසම සහ පළාත් සභා ඒකාබද්ධව එම රථ නියාමනය කිරීමටත් ඒ අනුව බලශක්ති අමාත්‍යාංශයට එම තොරතුරු ලබා දීමටත් ඒ අනුව එළඹෙන සතියේ එම අවශ්‍ය තීරණ ගැනීමටත් තීරණය කළ බව සඳහන්.