hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 06, ප.ව. 12:18



ඉන්ධන මිල සංශෝධනය වූ දින බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් අවශ්‍ය පරිදි ඉන්ධන ඇණවුම් නොකර සියයට 50ක අවම ඉන්ධන තොග පවත්වාගෙන නොගිය ඉන්ධන හල් 500ක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ආරම්භ කොට තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ඇත්තේ ද ඉන්ධන හල් 1,300 පමණයි.

මේ වන විට ත් මෙදින ඉන්ධන ඇණවුම් නොකළ ඉන්ධන හල් 121 සම්බන්ධයෙන් වෙන ම විමර්ශනයක් ආරම්භ කොට ඇති අතර ඊට අමතරව මෙකී විමර්ශනය ආරම්භ කොට ඇති බව තෙල් සංස්ථා උසස් නිලධාරියෙකු පැවසුවා.

ඉන්ධන හල් බලපත්‍ර නීතිවලට අනුව සෑම ඉන්ධන හලක් ම සිය අවම ඉන්ධන ධාරිතාව සියයට 50 ලෙස පවත්වාගෙන යා යුතුව ඇති බව ද එම උසස් නිලධාරියා සඳහන් කළා.

ඉන්ධන ධාරිතාව තබාගෙන ඉන්ධන අලෙවි නොකළ ඉන්ධන හල් හිමියන්ගේ බලපත්‍ර අත්හිටුවන ලෙසට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ලබා දුන් නියෝගයක් මත මෙම විමර්ශනය ආරම්භ කොට තිබෙනවා.

ඉන්ධන මිල සංශෝධනය ගැන ආරංචියත් සමග ප්‍රදේශ රැසක ඉන්ධන හල්වල, ඉන්ධන නොමැති බව සඳහන් කරමින් වසා දැමීම පදනම් කර ගනිමින් ඇමතිවරයා මෙම නියෝගය නිකුත් කර තිබුණා.

පසුගිය දින කිහිපයේ රට තුළ ඉන්ධන හිඟයක් නිර්මාණය වූයේ මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින් ඇතැම් ඉන්ධනහල් හිමියන් ඉන්ධන ඇණවුම් නොකිරීම හේතුවෙන් බව ද ඇමතිවරයා මෙහිදී සඳහන් කළා.

එසේ ම, අලෙවි නියෝජිතයන් විසින් සියයට 50ක අවම ඉන්ධන තොගයක් සෑම විට ම පවත්වාගෙන යා යුතු වන බව ත් ඒ ආකාරයෙන් කටයුතු නොකරන ඉන්ධනහල් සමාලෝචනය කර ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවන ලෙසට විෂය භාර ඇමතිවරයා නිකුත් කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.