hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ජූලි 31, පෙ.ව. 8:22



ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය හෙවත් QR ක්‍රමවේදය හෙට (01) සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත්, තමන්ගේ රථය සඳහා වෙන්වන ඉන්ධන කෝටාව ලබාගැනීම සඳහා සතියක පමණ කාලයක් පවතින හෙයින් හෙට දිනයේම පිරවුම්හල් වෙත පැමිණ එය ලබාගැනිමට උත්සාහ නොකරන ලෙසයි බලශක්ති අමාත්‍යාංශය ඉල්ලීමක් කළේ.

QR ක්‍රමවේදය යටතේ පිරවුම්හල්වලින් ඕනෑම පුද්ගලයෙකුට සතියක් තුළ තමන්ට වෙන් කර ඇති ඉන්ධන කෝටාව හෙට සිට ලබා ගත හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා. 

මේ හේතුවෙන් හෙට දිනයේම ඉන්ධන පිරවුම්හල්වලට එකතු වී තදබදයක් ඇති නොවන ලෙස කටයුතු කරන්නැයි එම අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.

ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ද සදහන් කළේ හෙටින් ආරම්භ වන සතියේ පිරවුම්හල් ආශ්‍රිතව යම් තදබදයක් ඇති විය හැකි බවයි.

QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් දෙවන සතියේ සිට පෝලිම්වල අඩුවක් ද දක්නට ලැබෙනු ඇති බවයි එම සංගමය පෙන්වා දුන්නේ.

ජාතික ඉන්ධන අවසර පත් සදහා වාහනයේ චැසි අංකය ඇතුලත් කර ලියාපදිංචි වීමට නොහැකි වූ වාහන හිමියන්ට අද සිට තම ආදායම් බලපත්‍ර අංකය භාවිතා කර ලියාපදිංචි වීමට හැකි බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව වාහනයේ චැසි අංකයෙන් කිව් ආර් ක්‍රමවේදයට ලියාපදිංචි වීමට නොහැකි වූ වාහන හිමියන්ට මෙලෙස ආදායම් බලපත්‍රයෙන් ලියාපදිංචියට අවස්ථාව හිමිවනවා.

මේ වනවිට කිව් ආර් ක්‍රමවේදය සඳහා ලියාපදිංචි වී ඇති වාහන සංඛ්‍යාව 4,691,149 ක්. එයින් රථ වාහන 4,159,367 ක් පෙට්‍රල් වාහන වන අතර, 532,571 ක් ඩීසල් වාහන වනවා.

මේ අතර, සියලුම ත්‍රිරෝද රථ අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු අතර ඔවුන්ට ආසන්නම ඉන්ධන පිරවුම්හල නම් කර ලබාදිය යුතුයි.

ඒ අනුව ඉදිරියේදී එම පිරවුම්හල්වලින් ඉන්ධන ලබාදීමට කටයුතු කරනු ලබනවා.

අද දිනයේදී ඉන්ධන නිකුත් කෙරෙන්නේ වාහන අංක තහඩුවේ අවසාන අංක 3, 4 සහ 5 සඳහායි.

මේ අතර ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ මුව ආවරණ නොමැතිව පිරවුම්හල් වෙත පැමිණෙන පුද්ගලයින්ට හෙට සිට ඉන්ධන නිකුත් නොකරන බවයි.

එහි සම ලේකම් කපිල නාඔටුන්න පැවසුවේ ඒ පිළිබඳ සියලු ඉන්ධන පිරවුම්හල් අද දිනයේ දැනුවත් කරන බවයි.

රට තුළ යළිත් කොරෝනා අවධානම ඉහළ ගොස් ඇති බැවින් ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන විට සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙයසි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.