hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූලි 12, ප.ව. 10:32



ජනතාවගේ භාරකාරත්වයට පත්කොට ගෙන තිබෙන ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ජාතික සම්පත් නිදහස් කළ යුතු බව ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

ජාතික වස්තූන් විනාශ කිරීම සඳහා නොයෙක් ආකාරයේ කුමන්ත්‍රණ පවා ක්‍රියාත්මක විය හැකි බවද උන්වන්සේ පෙන්වා දෙනවා.

අද (12) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමියන්,

“හෙට දවසේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමඟ ගාලුමුවදොර අරගල බිමේ මේ දක්වා කැපවීමෙන් කටයුතු කළ සහ කරන තරුණ සොහොයුරන් සොහොයුරියන් ඒ වගේම සමස්ත ශ්‍රී ලංකාවේම ජනතාව යම් ආකාරයකට සෑහිමකට පත්විය යුතුයි තමන්ගේ ඉල්ලීම ඒ ආකාරයෙන් ඉටුවීම සම්බන්ධයෙන්. ඒ නිසා ඉන් අනතුරුව ඉල්ලා අස්වීමත් සමගම තමන්ගේ බලාපොරොත්තු ඉටුවුණු පරිසරය යටතේ දැනට ජනතාවගේ සන්තකයට පත්කොටගෙන තිබෙන, ඒ කියන්නේ ජනතාවගේ භාරකාරත්වයට පත්කොටගෙන තිබෙන ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ජාතික සම්පත් නිදහස් කළ යුතුව තිබෙනවා. කුමක් හෙයින්ද රටේ ආරක්ෂාව පිළිබඳව වර්තමානයේ ජනාධිපති ධුරය අක්‍රීයව සිටින තත්ත්වයක් යටතේ ආරක්ෂාව තහවුරු වෙන්නේ නෑ. ආරක්ෂාව භාරව ඉන්නේ ජනතාවමයි. ඉදිරියට මේ ආරක්ෂාව දිගට පවත්වාගෙන යාම බරපතළ ප්‍රශ්නයක් වෙයි මේ වැදගත් ජාතික වස්තූන් විනාශ කිරීම සඳහා අපි නොදන්නා ආකාරයේ කුමන්ත්‍රණ පවා ක්‍රියාත්මක විය හැකියි. ඒ නිසා හෙට දවසේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමඟම ඒ ජාතික සම්පත් සාමාන්‍ය තත්ත්වයේ ආරක්ෂක අංශවලට පැවරෙන ආකාරයට කටයුතු කරන්න කියලා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා.”