hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 07, ප.ව. 2:50



මන්නාරම වැලිපර මුහුදු ප්‍රදේශය හරහා අනවසරයෙන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ගමන්කිරීමට උත්සහ දැරූ පුද්ගලයින් 13 දෙනෙකු අද (07) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් වැලිපර මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයක නිරත වූ අවස්ථාවේදී අදාල පිරිස මුහුදේ බෝට්ටුවක් පැමිණෙන තෙක් රැඳී සිටියදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් තිදෙනෙක්, කාන්තාවන් සිව් දෙනෙක් සහ අවුරුදු 18 වඩා අඩු ළමුන් හය දෙනකු සිටි බවයි වාර්තා වන්නේ.

නාවික හමුදා භාරයට පත් පිරිස වව්නියාව, ත්‍රීකුණාමලය සහ මොරවැව ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර ඔවුන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසියට භාරදීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.

මේ අතර මේ වසරේ ජනවාරී මස සිට ජූලි මස දක්වා කාලය තුලදී පමණක් 600කට ආසන්න පිරිසක් අනවසරයෙන් විදෙස් රටකට යෑමට උත්සහ කොට නාවික හමුදා භාරයට පත්ව ඇතැයිද නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවා.

වන්නි – රොමේෂ් මධුෂංඛ