hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 දෙසැම්‍බර් 14, ප.ව. 4:03



ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැති වීමේ ගැටළුව හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමක සිටින බව ආර්ථික ස්ථායීකරණය සඳහා වූ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම වෙනුවෙන් වූ ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා කර තිබෙනවා.

මේ අදහස් පළ කෙරුණේ ආර්ථික ස්ථායීකරණය සඳහා වූ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම වෙනුවෙන් වූ ජාතික සභා අනු කාරක සභාව පසුගියදා එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වූ අවස්ථාවේදීයි.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ගැටළු සහ ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා පෞද්ගලික සමාගම් ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම රැස්වීමට කැඳවා තිබුණා.

විශේෂයෙන් E-Governance සංකල්පය යටතේ සියළු රාජ්‍ය ආයතන එක් කරන ජාලයක් තවමත් සකස් කර ගැනීමට නොහැකි වීම සහ එම ප්‍රතිපත්තිය කඩිනමින් සකස් කොට රාජ්‍යය, පුරවැසියා සහ ව්‍යාපාරිකයා අතර දුරස්ථභාවය අවම කරගැනීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ගැටළු ගණනාවකට මුහුණදෙමින් සිටින බවත් ඒ අතර වසර ගණනාවක පළපුරුද්ද සහ අත්දැකීම් සහිත වෘත්තීකයන්ගේ ශ්‍රමය රටින් පිටතට ගලා යාම ප්‍රධානතම ගැටළුව බවත් මෙහිදී අවධාරණය කර තිබෙනවා.

දැනට ශ්‍රී ලංකාව තුළ පාසල් විෂය නිර්දේශය තුළට තොරතුරු තාක්ෂණ විෂයය හඳුන්වා දී ඇතත්, ඒ සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදුවී නොමැති බව සාකච්ඡා කෙරුණ අතර අලුතින් සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයය අනිවාර්‍යය විෂයයක් බවට පත් කිරීමේ හැකියාව සොයා බලන ලෙස ද මෙහිදී යෝජනා විය.

එමෙන්ම රාජ්‍ය විශ්ව විද්‍යාලවල තොරතුරු තාක්ෂණ විෂයයට අදාළ ආචාර්යවරුන්ගේ හිඟය අවම කිරීම සඳහා අවධානය යොමු කළ යුතු බවට අදහස් පළවූ අතර, ආචාර්යවරුන් සඳහා යම් බදු සහන වැඩපිළිවෙලක් සකස් කිරීම යෝග්‍ය බවටද කමිටුවේ දී යෝජනා විය.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ශ්‍රමයේ ගුණාත්මක තත්ත්වය ඉහළ මට්ටමක පවතින බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් මෙහිදී පෙන්වා දුන්නා. එනිසාම ක්ෂේත්‍රයේ ශ්‍රමයට අති ඉල්ලුම සම්බන්ධ විශාල ගැටළුවක් නෙමැති නිසා රටින් පිට නොවී එක්සත් ජනපදය, එක්සත් රාජධානිය වැනි රටවල පිහිටි ආයතනවල සේවය කිරීමට ශ්‍රමිකයන් යොමු කිරීමෙන් රට තුළට පැමිණෙන විදෙස් මුදල් ප්‍රමාණය වර්ධනය වන බවද අවධාරණය වුණා.

එයට අමතරව වත්මන් විදුලි අර්බුදය හේතුවෙන් සිදුවන විදුලි කප්පාදුව නිසා කුඩා පරිමාණයේ තොරතුරු තාක්ෂණ සමාගම් දැඩි දුෂ්කරතාවයකට පත්වන අතර, මහා පරිමාණ ව්‍යාපාරවලද බලශක්ති පිරිවැය ඉහළ යාම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

ආසන්න වශයෙන් ඩොලර් මි. 3.47 ක් වන ශ්‍රී ලංකාවේ ‘ඩිජිටල් ආර්ථිකය’ සමස්ත ආර්ථිකයෙන් 4.37% ක් පමණ වන අතර, ලෝකයේ අන් රටවල් සලකා බැලීමේදී එය 15% ක පමණ මට්ටමක පවතින බව ද කමිටුවේ දී සාකච්ඡා විය.

එමෙන්ම කුඩා පරිමාණ අලෙවිකරුවන් සඳහා නැව් ගාස්තු තැපැල් හා කුරියර් ගාස්තු වැනි අපනයන පරිවහන පිරිවැය අවම කරගැනීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවයද විද්වතුන් විසින් පෙන්වා දී තිබෙනවා.