hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 අගෝස්‍තු 03, පෙ.ව. 9:32



නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (03) පෙරවරු 10:30 ට උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතයි.

සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ වෙනුවෙන් සියලු කටයුතු සූදානම් සූදානම් බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසූවේ.

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත කිරීමේ උත්සවය ඉතා චාම් අයුරින් පැවැත්වීමට තීරණය කර ඇති හෙයින් ආචාර වෙඩිමුර සහ පෙළපාළි කිසිවක් ඊට මෙවර ඇතුළත් නොකෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවා.

එසේම ජනපති ධජය භාවිතා නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති හෙයින් එම ධජයද මේ උත්සවයේදී නොඑසවෙන බව ඔහු සඳහන් කළා.

ඒ වෙනුවට ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාරයක් පිරිනැමීම සිදු කෙරෙනවා.

සභාගර්භයට පිවිසි ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරන අතර මෙවර ජනාධිපතිවරයාගේ අසුනේ ජනාධිපතිවරයාගේ නිල ලාංඡනය වෙනුවට රාජ්‍ය ලාංඡනය සවිකර තිබීම විශේෂත්වයක්.

මෙම අවස්ථාවේදී කථානායකවරයා, පාර්ලිමේන්තුව කාරක සභා අවස්ථාවකදී අසුන් ගන්නා පහළ ආසනයේ ලේකම් මණ්ඩලය සමග අසුන් ගැනීම සිදුවනවා.

අනතුරුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව, සභාව කල් තැබීම සිදුවනවා

ඉන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද සංවිධානය කර තිබෙනවා.

ජනාධිපතිවරයා සහ ආර්යාව පාර්ලිමේන්තුවෙන් පිටත්ව යන අවස්ථාවේදී ද හමුදා උත්තමාචාරයක් පිරිනැමීම සිදුවනවා.

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්, හිටපු ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන්, අගවිනිසුරුතුමා, උපරිමාධිකරණ විනිසුරුවරුන්, නීතිපතිතුමා, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසකට ඇරයුම් කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු  මහතා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම්වේද අනුගමනය කරමින් නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ කටයුතු සිදුකෙරෙන බවද හෙතෙම අවධාරණය කළා.