hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ජූලි 27, ප.ව. 5:41



මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ යෝජනා සම්මතය අද (27) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 57 කින් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 120 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 63 ක් හිමි වුණා.

අද පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස්වූ අතර සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබද යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවාදය ආරම්භ වුණා.

පස්වරු 5.20 දක්වා මීට පක්ෂව සහ විපක්ෂව අදහස් පළ කරමින් පැවති විවාදය අවසානයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වුණා.  

මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වගන්තිය යටතේ 2022.07.17 දින කරනු ලබන ප්‍රකාශනය මගින් ඉහත කී ආඥා පනතේ 2 වන කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම 2022 ජුලි මස 18 වැනි දින සිට ක්‍රියාත්මක විය යුතු බව එවකට වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ඉහත කී ප්‍රකාශනය කිරීමට හේතුව මහජන සාමය ආරක්ෂා කිරීම හා මහජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා පවත්වාගෙන යාම සඳහා බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වන ව්‍යවස්ථාවේ 4 වන අනු ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරමින් පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙන බවත් එහි වැඩිදුරටත් සදහන්. 

මහජන ආරක්ෂක ආඥා පනත අනුව මෙම ප්‍රකාශනය දින 14 ක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් අනුමත කළ හොත් මාසයක කාලයක් සදහා වලංගු වනවා.

දින 14 ක් ඇතුළත එම ප්‍රකාශනය සදහා පාර්ලිමේන්තුවේ අනුමතිය නොලැබුණ හොත් එය අවලංගු වනවා. එසේම සෑම දින 30 කටම වරක් හදිසි අවස්ථා තත්ත්වය පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව දීර්ඝ කළ හැකියි.