hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 02, ප.ව. 3:16



කොවිඩ් වසංගත තත්ත්වය නව මුහුණුවරකින් අත්දකින්නට සිදුව තිබෙන නිසා නිසි ලෙස මුව ආවරණයක් පැළඳ මහනුවර ඇසළ මංගල්‍ය නැරඹීමට පැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව මහනුවර නාගරික ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් පැරකුම් ජයසිංහ මහතා පවසයි.

එය තමන්ගේ මෙන්ම අන් අයගේද සෞඛ්‍යාරක්ෂාව සඳහා හේතුවනු ඇතැයි ඒ මහතා සඳහන් කළා.

මහනුවර නගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේදී අද (02) පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ වන විට මහනුවර නාගරික සීමාවෙන්ද කොවිඩ් රෝගීන් හඳුනා ගනිමින් තිබෙන බවත් ගතවූ මාස කිහිපය තුළ මරණ කිසිවක් වාර්තා නොවුණු බවත් ඒ මහතා සඳහන් කළා.

කොවිඩ් එන්නත් මාත්‍රා සියල්ල ලබාගෙන නොමැති අයට මහනුවර ජාතික රෝහලෙන් හා පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් එන්නත් ලබා ගැනීමට අවස්ථාව ලබාදී තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළා.

කොවිඩ් රෝගීන් හා ඩෙංගු රෝගීන්ද නගර සීමාවෙන් වාර්තා වෙමින් තිබෙන නිසා පෙරහර නැරඹීමට පැමිණෙන විට පැඟිරි තෙල් වැනි මදුරු විකර්ෂකයක් ආලේප කර පැමිණෙන්නේ නම් ඩෙංගු පමණක් නොව අනෙකුත් මදුරු දෂ්ටනයන් ගෙන්ද ආරක්ෂා වීමට හැකි යැයි ඒ මහතා පැවසුවා.

ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම අන් අයට නොපරවා තමන්ම එය සිදු කර ගන්නේ නම් මදුරු ව්‍යාප්තිය පහසුවෙන් පාලනය කරගත හැකි යැයිද ජයසිංහ මහතා සඳහන් කළා.                                                                   

පිට පිටම වසර තුනක් ඇසළ පෙරහැර නැරඹීමට ජනතාවට නොහැකි වූ බැවින් මෙවර පෙරහාර නැරඹීම සදහා විශාල පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

මහනුවර – කේ.එල්.සුරවීර