hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 පෙබරවාරි 10, ප.ව. 12:12



බත්තරමුල්ලේ පිහිටි ආගමනය හා විගමනය දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට මේ දිනවල දෛනිකව 5000 ක පමණ පිරිසක් පැමිණීම හේතුවෙන් එහි විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගන්නා ස්ථානයට ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙක්ගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිසක් පෙරේදා (08) නොසන්සුකාරී ලෙස හැසිරීම හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව මෙසේ පොලිස් ආරක්‍ෂාව දී ඇති බව දැනගන්නට ඇති අතර එහි සේවයට යොදවා ඇති ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හයක පමණ කණ්ඩායමක් පොලිස් නිල ඇඳුමෙන් පැමිණෙන සහ ඔවුන්ගේ හිතවතුන්ගේ විදේශ ගමන් බලපත්‍රවලට මුල්තැන දෙන ආකාරය ද දැකගත හැකියි.

ජනතාව පෝලිම්වලින් සේවා කවුළුවට යොමුකිරීම සහ නියෝජ්‍ය පාලකවරු වෙත යොමු කිරීම ආදි සියලුම පාලනය පොලිසියට පවරා ඇති අතර පොලිසිය පොලිස් සහ සෙසු නිල ඇඳුම්වලට මෙන්ම හිතවත්කමට මූලිකත්වය දීමෙන් ජනතාවට දිගු කාලයක් පෝලිම්වල රැදී සිටීමට සිදුව තිබෙනවා.

ආගමන හා විගමන ප්‍රධාන කාර්යාලය තූළ සහ ඒ අවට ඊයේ (08) පෙරවරුවේ විශාල ජනතාවක් දැකිය හැකි අතර එම දෙපාර්තමේන්තුවට සැලසුමක් නොමැතිවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

එම දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට පැමිණි පුද්ගලයෙක් පැවසුවේ පොලිසියට පරිපාලන කාර්යයන් භාරදීමෙන් ජනතාව තවදුරටත් පහසුතාවට පත්කර ඇති බවයි.

මෙම වර්ෂයේ (2023) පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ලබන සඳුදා ආරම්භ වීම නිසා ඒ සඳහා විදේශ ගමන් බලපත්‍රය ගැනීම මෙම තදබදයට හේතු වී ඇති බවත් හදිසි අවශ්‍යතා සඳහා පමණක් එක්දින සේවයෙන් විදේශ ගමන්බලපත්‍ර නිකුත් කරන බවත් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසුවා.

එම කාර්යාලයට මීට පෙර ද පොලිසියේ සහ යුද හමුදාවේ ආරක්‍ෂාව ලබාගෙන තිබූ බව කී එම නිලධාරියා පොලිසිය හිතවතුන්ට සළකන බවට නොදන්නා බව ද සඳහන් කළා.