hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 18, පෙ.ව. 2:06



බුදුන් වහන්සේට මෙන්ම අනෙකුත් ආගම්වලට නිගරුවන ආකාරයේ ප්‍රකාශ සිදුකළ ක්‍රිස්තියානි දේවගැති ජෙරම් ප්‍රනාන්දු යළි දිවයිනට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව රටින් පිටවීම වැළැක්වීමේ තහනම් නියෝගයක් ද අධිකරණයෙන් ලබාගෙන ඇති අතර මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශනයක් සිදුකිරීමට ද නියමිතයි.

මේ අතර තමා එළඹෙන ඉරිදා යළි දිවයිනට පැමිණෙන බව දේවගැතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහන් කර තිබුණා.

ජෙරම් ප්‍රනාන්දු නම් ක්‍රිස්තියානි දේවගැතිවරයා සිදුකළ දේශනයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එම ප්‍රකාශවලින් බුදුන් වහන්සේට සහ තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට සමාජයේ විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ලවීමත් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද නියම කළේ ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි.

එවන් පසුබිමක දේවගැති ජෙරම් ප්‍රනාන්දුට රටින් පිටවීම වැළැක්වීමේ තහනම් නියෝගයක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නිකුත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් අනුවයි.

නමුත් දේවගැතිවරයා පසුගිය ඉරිදා සිය බිරිඳ සහ දරුදෙදෙනා සමඟ දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණා.

සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා තිබුණේ තමන් පෙර යොදාගත් කටයුත්තක් වෙනුවෙන් විදෙස්ගත වූ අතර යළි එළඹෙන ඉරිදා දිවයිනට පැමි‍ණෙන බවයි.

මේ අතර පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ දේවගැතිවරයා උපයාගත් දේපළ සහ වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුකරන බවයි.

මෙවන් වාතාවරණයක අද මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් බැහැදුටු භික්ෂූන් වහන්සේ පිරිසක් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව පියවර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නා.

නව භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය වැල්ලම්පිටිය සුමන ධම්ම හිමි : මල්වත්තේ අස්ගිරිය හැටියට මහනායක හාමුදුරුවනේ මොකක් හරි එහෙම මොකක් හරි තීරණයක් එහෙම අරගෙන තියෙනවද?

මල්වතු පාර්ශවයේ මහ නායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි : තාම එහෙම පියවරක් ගත්තේ නැහැ. ජනාධිපතිතුමා නියෝගයක් නිකුත් කළ නිසා

යතාර්ථය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය කිරිඉබ්බන්ආරේ විජිත හිමි : අපි ගෞරවයෙන් ඉල්ලන්නේ මේ ගැන ජනාධිපතිතුමාට අවශ්‍ය තීන්දු ගැනීම සඳහා නායක හාමුදුරුවොත් මේකට මැදිහත් වෙන්න.

මල්වතු පාර්ශවයේ මහ නායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි : ජනාධිපතිතුමා එහෙම කිව්ව නිසා මම හිතුවා දැන් වැඩේ බේරුමක් වෙයි කියලා.

නව භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය වැල්ලම්පිටිය සුමනධම්ම හිමි : ලොක්කා මහනායක හාමුදුරුවනේ සිම්බාබ්වේ ඌබට් කියලා එක්කෙනෙක්. මෙයාගේ ගුරුවරයා කියන කෙනා.

යතාර්ථය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය කිරිඉබ්බන්ආරේ විජිත හිමි : රත්තරන් හොරකම් කරන කෙනෙක්. කළු සල්ලි කියන ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන කෙනෙක්. ඉතින් ඒ පුද්ගලයා තමයි මෙයාගේ ශාස්තෘවරයා විදිහට ලංකාවට හඳුන්වලා දීලා තියෙන්නේ.

යතාර්ථය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය කිරිඉබ්බන්ආරේ විජිත හිමි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ සඳහන් කළා,

“මේක එක පැත්තකින් බෞද්ධ ආගමට සහ අනෙකුත් ආගම් වලට විතරක් නෙමෙයි ජේසුස් වහන්සේටත් කරලා තියෙන අපහාසයක්. ජේසුස් වහන්සේ මුල් කරගෙන තමයි බුදුන් වහන්සේට අපහාස කරන්නේ. මේ වෙලාවේ අපි කරන්න ඕන මේ පුද්ගලයා රජය මැදිහත් වෙලා, ජනාධිපතිතුමා දැනටමත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ නිසා ආරක්ෂක අංශ මේකට ක්‍රියාත්මක වෙලා මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න ඕනි. මේ දේපළ කොහෙන්ද ආවේ? මේ මුදල් කොහෙන්ද ආවේ? මේවා ගැන පුළුල් පරීක්ෂණයක් කරන්න ඕනේ.”