hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 25, පෙ.ව. 12:14



දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව නීතිපතිවරයා ඊයේ (24) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා මෙම දැනුම්දීම සිදු කළා.

මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ආගම් අතර නොසන්සුන්තාවක් නිර්මාණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකර තිබෙන බවට චෝදනා කළා.

එම ප්‍රකාශය තුළින් අදාළ දේවගැතිවරයා බෞද්ධ, හින්දු හා ඉස්ලාම් ආගමික විශ්වාසයන්ට බරපතළ අපහාසයක් සිදුකර ඇති බව ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කාදිනල් හිමියන් ඇතුළු ආගමික නායකයින් දැඩි විරෝධය පළකර තිබෙන බවත් ඔහු කියා සිටියා.

මෙම ප්‍රකාශය පිළිබඳව ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ද අවධානය යොමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යවරයා ද සිය අවධානය යොමුකර තිබුණද මේ දක්වා ඵලදායි පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

මෙම දේවගැතිවරයා පිටුපස විශාල දේශපාලන හස්තයන් පවතින බැවින් එම පරීක්ෂණ යටපත්වීමේ අවදානමක් පවතින බවත් ඔහුව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කළයුතු බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

එම නිසා සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණි බව ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම කරුණට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ගණනාවක් ලැබී තිබෙන බවද සඳහන් කළා.

ඒ අනුව අදාළ දේවගැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර දැනටමත් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් ඔහු දන්වා සිටියා.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අදාළ විමර්ශන සිදුකරන බව අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා පැවසුවා.

මෙම දේවගැතිවරයා විසින් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් ලබාගෙන තිබෙන බවත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන බවට වගඋත්තරකරුවන් අධිකරණයට ප්‍රතිඥාවක් ලබාදිය යුතු බවත් අවධාරණය කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මෙම කරුණ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර පවත්වාගෙන යන බවයි.

ඒ අනුව අදාළ කරුණු සටහන් කරගත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම නැවත ජුලි මස 28 වනදා කැඳවන ලෙස නියෝග කළා.

එදින අදාළ පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට දැනුම් දුන්නා.