hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 23, පෙ.ව. 11:17



රජයේ රෝහලකට අසීරු තත්වයේ රෝගියෙක් රැගෙන ගිය අවස්ථාවක එම රෝගියා රෝද පුටුවට පටවා තල්ලුකරගෙන වාට්ටුවට රැගෙන එන ලෙස රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෙක් තමාට නියෝග කළ බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ගීතාමනී කරුණාරත්න මහත්මිය පැවසුවා. 

සෞඛ්‍ය අමාත්‍යංශයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සඳහා පත්වීම් ලබා දීමේ වැඩසටහනක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති අවස්ථාවට සහභාගී වූ අතිරේක ලේකම්වරිය එසේ සඳහන් කළා.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අතිරේක ලේකම්වරිය මෙසේ ද කියා සිටියා.

“මම මගේ හිතවත් ලෙඩෙක් අරගෙන තමයි එදා රජයේ රෝහලකට ගියේ. එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි කණිෂ්ඨ කාර්යය මණ්ඩල සේවකයෙක් මට කීවා රෝගියා රෝද පුටුවට නන්වා තල්ලු කරගෙන එන්න කියලා. ඒ රෝහල් සේවකයා අඳුනන්නේ නෑ මම සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරියක් කියලා. මම සේවකයාගෙන් ඇහුවා ඒ වැඩේ කරන්න ඕනේ මමද කියලා. ඔහු ඒ අවස්ථාවේ මට කීවේ රෝහලේ කාර්ය මණ්ඩලය අඩුයි. ඒ නිසා රෝගියා අරන් පැමිණි කෙනාම රෝගියා රෝද පුටුවකට නංවා අදාළ අංශ වෙත තල්ලු කරගෙන යා යුතුයි කියලා. නමුත් ඒ රෝහල් සේවකයාට එම කාර්යය කිරීමේ හැකියාව ඒ අවස්ථාවේ හොඳටම තිබුණා. නමුත් එයා මට කියනවා ඔයා රෝගියා ගෙනාවනම් රෝද පුටුවේ දාලා තල්ලු කරගෙන එන්න ඕනේ කියලා. යම්කිසි කෙනෙක් අසීරු රෝගියෙක් රෝහලට ගෙනාව නම් තනිවම මේ වැඩේ කොහොමද කරගන්නේ. වාහනෙන් බස්සගෙන, උස්සලා රෝද පුටුවකට දාගෙන ඩොක්ටර් ගාවටයි, වාට්ටුවටයි අරගෙන යන්න පුලුවන්ද. මේක තමයි බොහෝ රෝහල්වල තත්ත්වය. රාජ්‍ය ආයතනවල තත්ත්වය.

මම වුණත් රාජ්‍ය ආයතනයකින් සේවයක් කරගන්න යනවනං ඉස්සරවෙලාම බලන්නේ එතන මගේ හිතවතෙක් ඉන්නවද කියලයි. ඕනම කෙනෙක් රෝහල්වලට වගේම රාජ්‍ය ආයතන වලට ගිහින් ප්‍රථමයෙන්ම කරන්නේ ඒ වැඩේ කරගන්න හිතවතෙක්ගෙ සහාය ලබා ගන්න එකයි. නැත්නම් ඒ වැඩේ කරගන්න ප්‍රමාද වෙන්න වෙනවා. රස්තියාදු වෙන්න වෙනවා. ඕක තමයි තත්ත්වය. දැන්වත් අපි මේ තත්ත්වය නැවැත්විය යුතුයි. විධිමත් සෞඛ්‍ය සේවයක් සඳහා භෞතික සම්පත් වගේම මානව සම්පත ඉතා වැදගත්. සෞඛ්‍ය ක්ෂේත්‍රය අමාත්‍යවරයාගේ සිට කණිෂ්ඨ සේවකයා දක්වා පුළුල් පරාසයක විහිදී පවතිනවා. මේ විහිදී පවතින සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ ස්ථරවල අපිට විවිධ වගකීම් පැවරෙනවා. වගකීමක් වගේම වගවීමත් පැවරෙනවා. අපි බොහෝ විට මේ වගවීම තමයි පැහැර හරින්නේ. අපි මහජනතාවගෙන් වැටුප් ලබන අය. රාජ්ය ආදායමෙන් සියයට සියයක් පමණ වැයවෙන්නේ රජයේ වැටුප් හා විශ්‍රාම ගෙවීමටයි.

ඒ සඳහා අවශ්‍ය මුදල් බදු මුදල් අපිට ගෙවන්නේ සාමාන්‍ය ජනතාව. ඒ ජනතාව තමයි පෙරළා අපි ලඟට පැමිණෙන්නේ අපේ සේවය ලබාගන්න. ඒ අතරින් සෞඛ්‍ය සේවය විශේෂ වන්නේ අපි ළඟට එන්නේ නිරෝගී අය නොවීමයි. අපි ලඟට මහජනතාව එන්නේ විවිධ රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබා ගන්නයි. එහෙම අයට නොසලකා හරිනවා නම් අපි මේ ගන්න වැටුපට ණයයි. රාජ්‍ය සේවයට බොහෝවිට එක් වන්නේ හොඳ ගුණාංග ඇති පුද්ගලයන්. නමුත් වසර කීපයක් එක තැන සේවය කරන කොට ඒ ගුණාංග නැති වෙනවා. රෝගියෙක් වුණත් ඒ අයට පෙනෙන්නේ සාමාන්‍ය කෙනෙක් විදිහට. ඒ නිසයි අපි කියන්නේ ඔබ තුළ ඇති ගුණාංග වර්ධනය කරගන්න කියලා. මේ තත්ත්වය සෞඛ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය වෙනවා. අපෙන් සේවයක් ලබා ගන්න එන රෝගියෙකුට උපරිම සත්කාරය අපි කළ යුතුයි. ඒ එන රෝගියෙකුට හිනාවෙලා කතා කළාට, උදව්වක් කළාට කාටවත් පාඩුවක් වෙන්නෙ නෑ. මේ තත්ත්වය අපි සෞඛ්‍ය සේවයේ ඇති කරගත යුතුයි. අද රාජ්‍ය සේවයට එක්වන ඔබ සියලු දෙනා මේ පිළිබඳව විශේෂයෙන් අවධානය කළ යුතුයි.” යනුවෙන්ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.                                      

මහනුවර – කමල් සුරවීර