hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 24, පෙ.ව. 8:56



2023 වසරේ යෙදෙන ඉන්දු ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඡායාරූප දෙකක් ඉන්දියාවේ විදේශ කටයුතු හා සංස්කෘතික රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේ පිහිටි නවීකරණය කරන ලද ජාතික චිත්‍රාගාරයේ දී 22 වනදා නිරාවරණය කෙරුණා.

කීර්තිමත් ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පී සෝලියස් මෙන්ඩිස් මහතා විසින් කැලණිය රජමහා විහාරයේ පින්තාරු කරන ලද බිතුසිතුවම් දෙකකින් පළමු බිතු සිතුවමේ, ශ්‍රී ලංකාවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුට මුණගැසෙන අවස්ථාව නිරූපණය කෙරෙනවා.

දෙවන බිතු සිතුවමෙන් දැක්වෙන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු පස ශාඛා අංකුරය දරාගෙන සංඝමිත්තා තෙරි ලංකාවට වැඩම කිරීමයි.

ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ සිදු වූ මෙම ඓතිහාසික සිදුවීම් දෙක ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරයක ආරම්භය සනිටුහන් කළ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ශක්තිමත් සහ නොබිඳිය හැකි ශිෂ්ටාචාර බැඳීම් සංකේතවත් කරනවා.

මෙම කැලණි බිතුසිතුවම් හි ඡායාරූප ඉන්දියාවේ විදේශ කටයුතු හා සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය මීනාක්ෂී ලේඛි මැතිනිය අතින් විවෘත කෙරුණා.

ගෝලීය බෞද්ධ සමුළුවට සහභාගි වීම සඳහා නවදිල්ලි නුවරට වැඩම කළ අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රී ලංකාවාසී මහා සංඝරත්නය සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් අභිජිත් හල්ඩර් සහ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ මහාචාර්ය මනතුංග මහත්වරු මෙම ඡායාරූපවල නිරූපිත විහාර බිතුසිතුවම් පිළිබඳ කෙටි විස්තරයක් නිරාවරණය කිරීමේ උත්සවයේදී කළා.

2021 ඔක්තෝම්බර් මාසයේදී, නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් කුෂිනගර් හි අලුතින් විවෘත කරන ලද ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එම බිතුසිතුවම් නිරූපනය කරන ඡායාරූප දෙකක් ස්ථාපනය කළා.

සමාන ඡායාරූප 2022 පෙබරවාරියේ නාග්පූර්හි Rashtriya Swayamsevak Sangh (RSS) මූලස්ථානයේ සහ 2022 ජූලි මාසයේදී අහමදාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ද, එම බිතුසිතුවම් ස්ථාපනය කර තිබෙනවා.

ඉන්දු-ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සැමරීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනක කොටසක් ලෙස, බුද්ධගයාවේ සහ වරණාසියේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් ඇතුළුව ඉන්දියාවේ අනෙකුත් ස්ථානවල ද එවැනිම ඡායාරූප ස්ථාපනය කිරීමට ආරම්භ කර ඇති අතර, ප්‍රාන්ත මට්ටමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ සමාජ සම්බන්ධතාවය වැඩි දියුණු කර පියවරක් වශයන් දැක්වෙනවා.