hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 28, ප.ව. 3:51



කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ මදුරෙයි බලා අද (28) පස්වරුවේ පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් , ගුවන් ගත වී විනාඩි 05 ක කාළයකට පසුව යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමකට ලක් කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළා.

මෙම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත එයා බස් – 321 නියෝ වර්ගයේ ගුවන් යානයක් වන අතර මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 41 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු ගමන් කර තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 139 දරන මෙම ගුවන් යානය අද (28) පස්වරු 01.40 ට ඉන්දියාවේ මදුරෙයි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වීමට නියමිතව තිබුණා.

එහෙත් මෙම ගුවන් යානය පස්වරු 02.02 ට කටුනායක ගුවන් තොටුපළෙන් මදුරෙයි බලා පිටත් වූ අතර , එම ගුවන් යානය විනාඩි 05 ක ගුවන් ගත වීමකින් පසුව යළිත් පස්වරු 02.07 කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබෙනවා.

මෙසේ ගුවන් යානය ආපසු පැමිණීමට හේතුව ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම බව ප්‍රකාශ කරන ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා , මේ වනවිට ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලය ගුවන් යානය තුළ රදවා ගෙනම , ගුවන් යානයේ අලුත්වැඩියා කටයුතු කරන බව ද පැවසුවා.

මෙම ගුවන් යානය යළිත් ඉන්දියාවේ මදුරෙයි වෙත ගුවන් ගන්නා නිශ්චිත වේලාවක් ගුවන් තොටුපළ විසින් ප්‍රකාශයට පත් කර නොමැත.