hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මාර්තු 31, ප.ව. 3:59



වසර 40 කට අධික සේවා කාළයක් සම්පූර්ණ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ  ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවෙකු වන උත්පල කුමාරසිංහ මහතා සිය අවසන් පියාසැරිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිය සේවයෙන් සමු ගැනීමට අද (31) පියවර ගෙන තිබුණා.

ඔහු තම අවසන් පියාසැරිය සදහා තම පුත් රහල් කුමාරසිංහ මහතා සහායක ගුවන් නියමුවා ලෙස සහභාගී කර ගෙන තිබීම විශේෂත්වයක්.

ඔවුන් විසින් ඉන්දියාවේ මදුරෙයි නුවර සිට අද (31) දහවල් 11.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 138 දරන ගුවන් යානය සිය අවසන් පියාසැරිය ලෙස  පදවා ගෙන පැමිණ තිබුණා.

මෙම ගුවන් යානය පිළිගැනීම සදහා ගුවන් තොටුපළ ධාවන පථයේ දී ” ජල ආචාරයක් ” පවත්වා පිළිගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙන්ම කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් ද පියවර ගෙන තිබුණා.

1979 වසරේ දී සහකාර මෙහෙයුම් නිලධාරීවරයෙකු සේවයට එක් වී ඇති උත්පල කුමාරසිංහ මහතා වසර 44 ක සේවා කාලයකින් පසුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවෙකු වශයෙන් සේවයෙන් සමු ගැනීම සිදු කෙරුණා.

කටුනායක – ටී.කේ.ජී.කපිල