hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 20, ප.ව. 5:27



පානදුර පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් තුනක පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන 23 ක් සහ පොදු ස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවූ බව පානදුර කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී (වෙනුවට වැඩබලන) සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතා පැවසුවා.

අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන හා පොදු ස්ථාන ඉලක්ක කරගෙන බෝම්බ පිපිරීමක් සිදු වන බවට ලද නිර්නාමික තොරතුරක් අනුව එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමත් සමඟම පෙරේදා (19) සවස ලද විශේෂ පොලිස් පණිවුඩයක් අනුව ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව ඒ මහතා පෙන්වා දුන්නා.

පානදුර පොලිස් වසමේ පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන දාහතරක්, පානදුර දකුණ පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන තුනක් සහ පානදුර උතුර පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන හයක් ආවරණය වන පරිදි පොලිස් ජංගම සේවා රථ යොදා විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවත්, ඊට අමතරව ආගන්තුක පුද්ගලයන් එම ප්‍රදේශවල ගැවසුනහොත් දැඩි අවධානයෙන් පසුවන ලෙසත් දැනුම්වත් කිරීමට පියවර ගත් බව සහකාර පොලිස් අධිකාරී සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ