hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 අප්‍රේල් 19, පෙ.ව. 10:19



මඩකළපුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විශාල වශයෙන් දේශපාලන මැදිහත්වීම් සිදුවන බවත් ඒවා වහා නතර කළ යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රාසමානික්කම් සානක්‍යන් මහතා පැවැසුවා.

මඩකළපුව සංවර්ධන කමිටු රැස්වීම ඊයේ (18) මඩකළපුවේදී පැවැති අතර ඊට සහභාගිවෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සානක්‍යන් මන්ත්‍රිවරයා මෙසේද සඳහන් කර සිටියා,

“මඩකළපුව මාසිවන්තිව් ප්‍රදේශයේ ස්ථාපිත අයිස් කර්මාන්තශාලාව ඉදිකිරීම වෙනුවෙන් නීත්‍යනුකූල අවසර බලපත්‍ර ලබාගෙන ඇද්දැයි පරීක්ෂා කළ යුතුයි. එම කර්මාන්තශාලාවට අදාළ ගොඩනැඟිල්ල දේශපාලනඥයකුගේ සහෝදරයකුට අයත් යැයි හෙළිදරව් වී තිබෙනවා. විශේෂයෙන් මෙම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු දේශපාලන බලපෑම් මත සිදුවන බවත් දැනගන්නට තිබෙනවා. එහෙත් එම ප්‍රදේශයේ ඉදිකිරීම්වලට අදාළ ආයතන ඒ පිළිබඳ දැන ගත යුතුවාක් මෙන්ම ඒ පිළිබඳ පැහැදිලි කළ යුතුයි.

දේශපාලන මැදිහත්වීම් මත දේශපාලන බලපෑම් මත සිදු කෙරෙන මෙවැනි ඉදිකිරීම් කිසිසේත් අනුමත කරන්න බැහැ. එවැනි ඉදිකිරීම්වලට අවසර ලබාදීමද කළ නොහැකියි. දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමක් පවත්වන්නේ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන්. අපි ජනතාවට වගකිව යුතුයි. ප්‍රදේශයේ සංවර්ධන කටයුතු හා ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුත්තේ ප්‍රදේශයේ පරිසරයට හා සම්පත්වලට හානි නොවන ආකාරයෙනුයි. නමුත් මඩකළපුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘති රැසක ගැටලු තිබෙනවා. එයට හේතුව එම ව්‍යාපෘතිවලට දේශපාලන මැදිහත්වීම් සිදුවීමයි. මේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ සොහොයුරකුගේ ව්‍යාපෘති වෙනුවෙන් විශාල දේශපාලන සහයෝගයක් ලැබෙන බව වාර්තා වෙනවා.

ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කළ යුතුයි. එවිට මෙම ව්‍යාපෘති පිළිබඳව සොයා බැලිය හැකියි. නිසි අවසරයකින් යුතුව ඉදිකිරීම් සිදුකරන්නේ නම් අපට ගැටලුවක් නැහැ. මඩකළපුව දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම්හලක් ඉදි කිරීම සම්බන්ධයෙන්ද ගැටලු සහගත තත්ත්වයක් ඇතිව තිබෙනවා. දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරයෙක් වශයෙන් මේ පිළිබඳ සොයා බැලීමේ වගකීමක් මටත් තිබෙනවා. අපට පුද්ගලයන් සම්බන්ධයෙන් පෞද්ගලික තරහක් නැහැ. නමුත් ප්‍රදේශයේ ඉදිකිරීම්වලදී හා ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී යම් අකටයුත්තක් සිදුවෙනවා නම් එවාට වගකිව යුත්තේ ප්‍රදේශයේ බලධාරීන්මයි.”