hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 14, පෙ.ව. 7:22



අද වන විට සපුගස්කන්ද බලාගාරය සහ කොළඹ වරායේ පාවෙන විදුලි බලාගාරය දැවිතෙල් නොමැතිව සම්පුර්ණයෙන්ම අක්‍රිය වී තිබෙනවා.

එමෙන්ම ඩීසල් නොමැතිව කැළණිතිස්ස සහ මතුගම විදුලි බලාගාර ද පවතින්නේ අක්‍රිය තත්වයේ.

ACE ඇඹිලිපිටිය බලාගාරය, ACE මාතර බලාගාරය යන පෞද්ගලික විදුලි බලාගාර ද මේ වන විට දැවිතෙල් නොමැතිව මුළුමනින්ම අක්‍රිය වී තිබෙනවා.

උතුරු ජනනි බලාගාරය සඳහා ඉන්ධන පවතින්නේ තවත් දිනකට පමණක් වන අතර තුල්හිරිය බලාගාරය සඳහා දින දෙකකට, කොළොන්නාව 01 බලාගාරයට පැය 36ක් සඳහා , කොළොන්නාව 02 බලාගාරයට පැය 12කට පමණක් ඉන්ධන පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ දත්ත වල සඳහන්.

එමෙන්ම සොජිට්ස් බලාගාරයේ දැනට පවතින ඉන්ධන ප්‍රමාණවත් ඇත්තේ දිනකට පමණයි.

ඉන්ධන අර්බුධය එසේ පැවතියද පසුගිය දින කිහිපය පුරා ඇඳ හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මෙරට විදුලි අර්බුධයට යම්කිසි සහනදායි තත්වයක් උදා වී තිබෙනවා.

ඉකුත් මැයි 11 වනදා ජාතික පද්ධතියට ජල විදුලියෙන් 45.6%ක දායකත්වයක් ලබා ගෙන ඇති අතර මැයි 12 වනදා ජාතික පද්ධතියට ජල විදුලියෙන් 44.8%ක දායකත්වයක් ලැබී තියෙනවා.

එම දෙදින තුළ සුළං බලාගාර වලින් ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 11%ක් සම්පුර්ණ කර ගැනීමට හැකි වී තිබෙනවා.

මේ අතර ඉදිරි දින කිහිපයේ විදුලි කප්පාදුව සිදු වෙන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ජනතාවට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අද (14) දිනයේත් පැය 05ක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබෙනවා.

ඉරිදා දිනට යෙදෙන වෙසක් පොහෝ දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

දැනට විදුලිය පැය පහමාරක් කැපීමට හේතුව තෙල් වර්ගවලින් පාවිච්චි කරන එකදු බලාගාරයක් වත් පසුගිය කාලය පුරාවට භාවිත නො කළ නිසා බව යි ඔහු දන්වා සිටින්නේ.

මේ වන විට ස්වභාධර්මය අපිට උදව් කරන බවත් පසුගිය දින කිහිපයේ දී සියයට 45කට වැඩි ප්‍රමාණයක් ජල විදුලියෙන් විදුලි උත්පාදනය කළ බවත් සුළං බලයෙන් ලැබෙන විදුලි ප්‍රමාණයක් වැඩි වී ඇති බවත් ඔහු සඳහන් කරනවා.

යම් හෙයකින් විදුලි බිල වැඩි නොකලොත් බිලියන 230ක පාඩුවක් විදුලිබල මණ්ඩලයට දරන්න සිදු වෙන බව යි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.