hit counter

2024 සැප්‍තැම්‍බර් මස 20 වන සිකුරාදා

2022 අගෝස්‍තු 01, පෙ.ව. 10:00



අරගලකරුවන්ගේ බාරයට පත්වූ ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ ප්‍රධාන ගොඩනැගිලි හතර පෞරාණික ස්ථාන ලෙස විධිමත් සහ නිශ්චිත ආකාරයට ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත්කර නොමැති බව වාර්තා වනවා.

ඒ අනුව ඒවායේ පෞරාණික දේපළවලට හානි කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත යටතේ නීතිය ක්‍රියාත්මක කිරීම ගැටළු සහගත වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

ගැසට් නිවේදනයක් ප්‍රකාශ කිරීමට අදාළව මූලික කටයුතු සිදුවී තිබුණද ජනාධිපති මන්දිරය පෞරාණික ස්ථානයක් හැටියට නම් කෙරුණු බව සඳහන් පරිපූර්ණ ගැසට් නිවේදනයක් මෙතෙක් නිකුත්වී නැතැයිද ඔවුන් සඳහන් කරනවා.

ජනාධිපති මන්දිරය පෞරාණික ස්ථානයක් ලෙස සඳහන් නිශ්චිත ගැසට් නිවේදනයක් නොමැති බවයි සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂිකා (බස්නාහිර පළාත්) ශ්‍යාමලි රාජපක්ෂ මහත්මිය පැවසූවේ.

මේ හේතුවෙන් ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය  පෞරාණික ස්ථාන ලෙස සඳහන් ගැසට් නිවේදන ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරගෙන යන බවයි වාර්තා වන්නේ.

එසේම ජනාධිපති මන්දිරයේ තිබූ පෞරාණික භාණ්ඩ පිළිබඳ ලේඛනයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව මෙතෙක්  නැතැයිද වාර්තා වනවා.

එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් පසුගියදා කොළඹ නගරයේ උද්ඝෝෂණ කළ අරගලකරුවන් පිරිසක් විසින් මෙම ගොඩනැගිලි හතරම ඔවුන්ගේ බාරයට ගනු ලැබුවා.

එම ගොඩනැඟිලි අරගලකරුවන්ගේ බාරයේ තිබියදී ඒවායේ තිබූ පෞරාණික භාණ්ඩ රැසකට හානි වී ඇති අතර තවත් ඇතැම් භාණ්ඩ අස්ථානගතවී ඇතැයි පොලිසිය සඳහන් කළා.

විනාශවූ එම භාණ්ඩ ලේඛනගත කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් කණ්ඩායමක් මේ දිනවල කටයුතු කරගෙන යන බව ශ්‍යාමලී  රාජපක්ෂ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරෙනවා.