hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 මැයි 07, ප.ව. 8:33



මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවැනි වගන්තියේ පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නිතිය පනවනු ලැබුවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ද ඊයේ රාත්‍රියේ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණා.

හදිසි නීතිය පැනවීමට රජය කටයුතු කළත්, එහි හදිසි අවස්ථා නියෝග සඳහන් වී නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ හිටපු කොමසාරිස් ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා සඳහන් කරනවා.

ප්‍රතිභා මහානාමහේවා මහතා මෙසේ ද සඳහන් කළා,

“හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කලහම එය පැනවූ දින සිට දින 10ක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කර ගත්තොත් තමයි මාසයක් යන්නේ. එහෙම නැති නම් එය පැනවූ දින සිට දින 14කින් ඉබේම අහෝසි වෙලා යනවා. ප්‍රායෝගික තත්වය බැලුවොත් නැවත පාර්ලිමේන්තුව රැස්වන්නේ මැයි 17. මැයි මාසයේ 16 වනදා රාත්‍රියෙන් දින 10 සම්පුර්ණ වෙනවා. එතකොට මේ හදිසි නිතිය පාර්ලිමේන්තුවට ගිහින් සම්මත කර ගන්න බැහැ. ඒ නිසා ප්‍රකාශ කරපු දින සිට දින 14කින් මේක ඉබේම අහෝසි වෙනවා.”

ඉතාමත් වැදගත්ම කාරණය තමයි හදිසි අවස්ථාව මහජන ආරක්ෂක පනත යටතේ පැනවුවට කිසිම අවස්ථාවක 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යාමට බැහැ. උදාහරණයක් ලෙස 14 ආ රැස්වීම , භාෂණයේ නිදහස, ප්‍රකාශනයේ නිදහස, ඒ වගේම 14 ඌ ජනතාවට ගමන් කිරීමේ නිදහස ඒ කිසි දෙයක් නැති වෙන්නේ නැහැ. සාමකාමී උද්ඝෝෂණ, සාමකාමී අරගල ඒවා දේශපාලන උද්ඝෝෂණ වශයෙන් යන්නත් මේකෙන් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. “

මේ අතර හදිසි නිතිය පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

ඒ අනුව ජනතාවගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන බවට තහවුරු කරමින් හදිසි නීතිය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර හදිසි නිතිය පැනවීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසට දන්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා එම කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට එළඹෙන සදුදා දිනයේදී මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම් දී ඇත්තේ.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වත්මන් ආර්ථික සමාජ අර්බුද ජයගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා සාමාන්‍ය ජන ජීවිතය බාධා විරහිතව පවත්වාගෙන යාම සඳහා මෙලෙස හදිසි නීතිය පැනවීමට රජය කටයුතු කර ඇති බවයි.

එමෙන්ම මහජන ආරක්ෂාව, ජන ජීවිතය සුරක්ෂිත කිරීම, අත්‍යව්‍ය සැපයුම් සහ සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම මෙන්ම පොදු ජනතාවට නිදහසේ ගමන් බිමන් යාම සහතික කිරීම යන අරමුණු සපුරාගැනීම පිණිස ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව හදිසි නීතිය යළි බලාත්මක කර ඇති බව ද එහි දැක්වුණා.

හදිසි නීතිය පැනවූයේ අර්බුද සමනය කිරීමේ කෙටි කාලීන පියවරක් වශයෙන් පමණක් බවත් රට, යථා තත්වයට පත් කිරීමෙන් පසු වහාම එය ඉවත් කිරීමට කටයුතු කරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එසේම ආර්ථික පීඩනයේ උපරිම තලයට ළං වෙමින් සිටින සාමාන්‍ය ජනතාවට අපහසුතාවක් ඇති නොවන සේ විරෝධතාවන් සංවිධාන කිරීම සහ එයට මුහුණදීම උද්ඝෝෂකයින්ගේ මෙන්ම ආණ්ඩුවේ අත්හැරිය නොහැකි වගකීමක් බවට හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

මේ අතර මෙරට යළි හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කරනවා.

සාමකාමී පුරවැසියන්ගේ හඬට අවධානය යොමුකළ යුතු අතර, ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන සැබෑ අභියෝගවලට මුහුණදී රට යළි සෞභාග්‍යය කරා ගෙන ඒමට දිගුකාලීන විසඳුම් අවශ්‍ය බවයි ඇය පවසන්නේ.

ඒ සඳහා හදිසි නීතිය පැනවීමෙන් සහාය නොලැබෙනු ඇතැයි ඇමරිකානු තානාපතිනිය ප්‍රකාශ කරනවා.

මේ අතර යුරෝපා සංගමය ද ඊට අදාළව ප්‍රකාශයක් සිදුකර තිබූ අතර, එහි සඳහන් වන්නේ හදිසි නීතිය රටේ පවතින දුෂ්කරතා විසඳීමට උපකාරී නොවන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට යළි හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ස්විස් ජනරජයේ මෙරට තානාපති Dominik Furgler ද සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

ඔහු ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලාංකිකයින් විසින් මෙලෙස සාමකාමී ව විරෝධතා පැවැත්වූයේ ඔවුන් අසීමිත අයුරින් ජීවිතයේ දුක් විඳින බැව් පෙන්වා දීමට වන බවයි.

එබැවින් හදිසි නීතිය පැනවීමෙන් අර්බුදයන්ට විසඳුම් සෙවීම දුෂ්කර බව ද හෙතෙම පෙන්වා දෙනවා.

මේ අතර ජනාධිපතිවරයා විසින් ඊයේ (06) දින පනවනු ලැබූ හදිසි නීතියට එරෙහිව අද (07) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධයක් පැවැත්වුවා.

ඒ ජාතික ජන බලවේගයේ මෙහෙයවීමෙන්.

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව තිබුණා.

“ජනාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවූ හදිසි නීතිය ඉවත්කර ගැනීමට අපි දැඩිව බලකරනවා. මේ පාලකයින්ට මොළය තිබෙනවා නම් මහජනතාව තමන්ට යන්න කියන එක තේරුම් ගත යුතුයි. මේ වනවිට පාර්ලිමේන්තුවේ බලය නිරූපණයෙහි විකෘතියක් ඇති වෙලා තියෙන බව අපි කව්රුත් දන්නා දෙයක්. රට පුරා ජනතාව හර්තාල් පවත්වමින් ජනාධිපති ඇතුළු ආණ්ඩුව වහාම ඉවත්විය යුතු බව අවධාරණය කරනවා. ජනතා හඬට කන් දී ආණ්ඩුවේ පාලකයෝ දැන් ඉවත් වෙන්න ඕනේ. එත් ඒ වෙනුවට හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමටයි මේ පාලකයෝ ක්‍රියා කළේ. හදිසි නීතිය පනවන්න රට තුළ ඇති වී තිබෙන හදිසි තත්වය මොකක්ද කියලයි අපි ප්‍රශ්න කරන්නේ.මේ හදිසි නීතිය පැනවීම මගින් ජනතාව මර්දනය කිරීමට රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ කරන්නේ නම් ජනාධිපති ඇතුළු ආණ්ඩුව ගෙදර යවන දිනය ඉක්මනින් ලඟා කර ගන්නා බවට අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා” යි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිලිවින් සිල්වා එහිදී පැවසුවා.