hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූලි 13, පෙ.ව. 12:01



ජූලි 9 වනදා ඇති වූ සිදුවීම්වලින් පසුව ජනාධිපති මන්දිරයට සිදු වූ හානිය විමර්ශනය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (12) පෙරවරුවේ එහි ගොස් තිබෙනවා.

ඒ අනුව එම නිලධාරීන් විසින් එම පරිශ්‍රය මෙන්ම ජනාධිපති මන්දිරය ද නිරීක්ෂණය කර තිබෙනවා.

ඉකුත් 9 වනදා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ගාලු මුවදොර පැවති විරෝධතාවට සහභාගි වූ ජනතාව විසින් කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය අත්පත් කර ගනු ලැබුවා.

මේ අතර මහජන දේපළ සහ ජාතික උරුම වන ස්මාරක සහ පුරාවස්තුවලට හානි කිරීම හෝ සොරකම් කිරීමෙන් වළකින ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, එසේ යම් හානියක් හෝ සොරකමක් සිදු කළහොත් ඒ සඳහා පුරාවිද්‍යා ආඥා පනත ප්‍රකාරව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවයි.

ජූලි මස 9 වනදා සිදු වූ සිදුවීම් සහ ඉන් පසුව ඇති වූ තත්ත්ව හේතුවෙන් කොළඹ ජනාධිපති මන්දිරය ඇතුළු පුරාවිද්‍යා ස්මාරකවලට හානි සිදු වී ඇති බව ත් එම ස්ථානවල තිබුණු පෞරාණික හා සංස්කෘතික වස්තු තවදුරට ත් විනාශ වීම හෝ අස්ථානගත වීම වළක්වා ගත යුතු බව ත් එම නිවේදනයේ සඳහන් වෙනවා.

අදාළ නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලිය ගහ මන්දිරය යන ස්ථානවල පිහිටි පැරණි ස්මාරකවලට තවදුරට ත් හානි සිදුවීම වළක්වා ගැනීම, වටිනා පෞරාණික හා සංස්කෘතික දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියට ත් එම ස්ථාන නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරනු ඇති බවයි.