hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 13, පෙ.ව. 7:12



අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ ජීවන්ත පීරිස් පියතුමා ඊයේ (12) නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ අතර ඔහුට එරෙහිව ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

තම සේවාදායකයාට එරෙහිව විදේශ ගමන් තහනමක් පොලීසිය විසින් ලබා ගෙන තිබෙන බව රූපවාහිනී මාධ්‍ය ඔස්සේ දැනගත්තත් මෙවැනි නඩුවක් තිබෙන බව ඔහුට දැනුම් දී නොතිබුණු බව ඔහුගේ පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරුන් සඳහන් කළා.

ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුළු ඇතුළු වූයේ දහවල් 1.30ට බව පෙන්වා දුන් නීතීඥවරයා අදාළ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූයේ පස්වරු 4.30ට බවත් අධිකරණයට සඳහන් කළා.

ඒ අවස්ථාව වන විට දහස් ගණනක් ජනතාව ජනාධිපති මන්දිරයට ඇතුළු වී ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියා.

සැකකාර පියතුමා ජනාධිපති මන්දිරය තුළ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් “ජයග්‍රහණය සමරමු” යනුවෙන් ප්‍රකාශ කොට මහජනතාව උසි ගැන්වීමට කටයුතු කර තිබෙන බව පැවසූ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ඊට විරෝධය පළ කළා.

කැරලිකරුවන් ජනාධිපති මන්දිරය තුළට කඩා වැදීම නිසා එහි තිබූ දේපළ වලට රුපියල් ලක්ෂ 12 කට වැඩි අලාභ හානි සිදුවී ඇති අතර එම අලාභය තවදුරටත් ගණනය කරමින් පවතින බවත් සඳහන් කළ පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ සැකකාර පියතුමා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් අරගලයට ජනතාව ගෙන්වා ගැනීම සහ උසිගැන්වීම් කටයුතු සිදු කළ බවයි.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් විමසා සිටියේ මෙම සැකකාර පියතුමා ජනාධිපති මන්දිරය තුළ කිසියම් අපරාධයක් සිදුකර ඇති බවට කරුණු ඉදිරිපත් වී තිබෙනවාද යන්නයි.

පොලිසිය සඳහන් කළේ එවැන්නක් සිදුවී තිබේද යන්න පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

සිද්ධිය වූ දිනයේ දහස් ගණනක් ජනතාව ජනාධිපති මන්දිරයට ඇතුළු වූ බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා ඒ සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි බව පෙන්වා දුන්නා.

එම අවස්ථාවේදී අරගලකරුවන් පමණක් නොව දේශපාලන පක්ෂවල සාමාජිකයන් සහ වත්මන් ජනාධිපතිවරයාගේ පක්ෂයේ සාමාජිකයන් පවා එම විරෝධයට එක්ව සිටින්නට ඇතැයි ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අතර සැකකාර පියතුමන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.