hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 මාර්තු 19, පෙ.ව. 8:34



ලබන මාසයේදී ඉන්ධන මිල ගණන් අඩු කෙරෙනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසනවා.

ඩොලරයේ වටිනාකම අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට පිරිනැමීම සඳහා මෙම අඩු කිරීම සිදු කෙරෙනු ඇති.

ඩොලරය අවප්‍රමාණය වීමට අමතරව සිංගප්පූරු ඉන්ධන වෙළෙඳපොළේ තෙල් මිල ගණන් පහළ යාමද තෙල් මිල අඩු කිරීමට හේතු වන බව වාර්තා වනවා.

ඒ අනුව අප්‍රේල් මස මුල් සතිය වනවිට මෙම මිල අඩු කිරීම ප්‍රකාශ කරනු ඇතැයි දැනගන්නට තිබෙනවා.

එහෙත් එහි ප්‍රතිශතය කොපමණදැයි මෙතෙක් තීරණය කර නැත.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල විශාල ලෙස පහත වැටී තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා වන විට වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 67.48 දක්වාත්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු 71.46 දක්වාත් පහත බැස ඇතැයි ෆෝබ්ස් වෙබ් අඩවිය සඳහන් කරනවා.

2021 වසරේ ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ඉහළ ගොස් තිබූ බොරතෙල් බැරලයක මිල මෙතරම් අගයකින් පහත වැටී ඇත්තේ පළමු වරටය. පසුගිය සමයේ බොරතෙල් මිල ඉහළ යාමට බලපෑවේ රුසියානු යුක්රේන යුද්ධයයි.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ප්‍රතිචාර වශයෙන් රුසියාවට පැනවූ සම්බාධකවලින් පසුව, 2022 පෙබරවාරි මාසයෙන් පසු තෙල් මිල වාර්තාගත ලෙස ඉහළ ගියා.

පසුගිය සමයේ උද්ධමනය විශාල ලෙස ඉහළ යාමත්, ආර්ථික විද්‍යඥයන් විසින් ආර්ථික අවපාතයක් පිළිබඳව අනතුරු ඇඟවීමත් මත පසුගිය සැප්තැම්බර් මාසයේ සිට තෙල් මිල ක්‍රමයෙන් පහත වැටෙන්නට වුණා.

2023 වසරේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල යළි ඩොලර් 110 වනු ඇතැයි පුරෝකථනය කළ නමුදු එය ඩොලර් 85 ඉක්මවූයේ නැත.

පසුගිය සතියේ එක්සත් ජනපද ප්‍රාදේශීය බැංකු දෙකක් අසාර්ථක වීමෙන් පසු බැංකු පද්ධතිය පිළිබඳ ඇතිව ඇති බිය සහ කොටස් නිකුතුව අත්හිටුවීම නිසා ස්විස් බැංකු දැවැන්තයකු වන ක්‍රෙඩිට් සූස් ඇතුළු බැංකු වෙළෙඳපොළ අගයන් පහත වැටීමද බොරතෙල් මිල පහත වැටීමට බලපා ඇතැයි ෆෝබ්ස් වෙබ් අඩවිය සඳහන් කරනවා.