hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූලි 08, ප.ව. 3:28



විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා යුරෝපා සංගමයේ කොළඹ සිටින තානාපති ඩෙනිස් චයිබි හමු වී තිබෙනවා.

අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී යුරෝපා සංගමයේ තානාපතිවරයා හමුවේ ඉදිරිපත් කළ කරුණු අතරට මෙරට වත්මන් ආර්ථික තත්ත්වය ආශ්‍රිත ප්‍රවණතා, 2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ රෙගුලාසි යටතේ තහනම් කරන ලද සංවිධාන සහ පුද්ගලයන්ගේ ලැයිස්තුව සමාලෝචනය කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින රැඳවියන් නිදහස් කිරීම, ස්වාධීන ආයතනවල ප්‍රගතිය සහ යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන ලක්ෂණ යනාදිය ඇතුළත් වුණා.

මෙරට ස්ථාපිත දේශීය යාන්ත්‍රණ තුළින් සත්‍යාපනය කළ හැකි වූත් ප්‍රමාණවත් වූත් සුවිසල් ප්‍රගතියක් ලබාගැනීමට රජය සමත් වූ බව සඳහන් කළ අමාත්‍යවරයා, පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට රජය සිය අවධානය යොමු කර ඇති බවයි අවධාරණය කළේ.

තවද, සමාජයේ අවදානමට ලක්විය හැකි ජන කොටස් ඉලක්ක කෙරෙන සුබසාධන ක්‍රියාමාර්ග රැසක් ඇතුළත් නව අයවැයක්, නුදුරේදී ඉදිරිපත් කිරීමට රජය අදහස් කරන බවද අමාත්‍යවරයා දැනුම් දුන්නා.

මෙරට මෑත කාලීන ප්‍රවණතා පිළිබඳව ඉදිරිපත් කරන ලද මෙම තොරතුරු, යුරෝපා සංගමයේ තානාපතිවරයාගේ ඇගයුමට ලක්වූ අතර 2024-2033වර්ෂය සඳහා වන යුරෝපා සංගමයේ මීළඟ ජීඑස්පී (GSP) රෙගුලාසිය මේ වන විට යුරෝපා සංගම් කොමිසම සහ යුරෝපා පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට බඳුන් වෙමින් පවතින බව ද ප්‍රකාශ කළා.

මෑතකදී අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ 50 වැනි සැසිවාරය පිළිබඳව සඳහන් කළ අමාත්‍යවරයා, මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් සමඟ ශ්‍රී ලංකාව සිය ඵලදායී නිරතවීම් අඛණ්ඩව සිදු කරන බව ප්‍රකාශ කර තිබෙනවා.