hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මාර්තු 02, පෙ.ව. 4:29



වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති රැසක් ඊයේ ක්‍රියාත්මක කළ වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් ක්ෂේත්‍ර රැසක කටයුතුවලට සැලකිය යුතු මට්ටමේ බලපෑමක් එල්ල වුණා.

කෙසේ වෙතත්, ක්ෂේත්‍ර රැසක කටයුතු ජනතාවට පීඩාවක් නොවන ආකාරයට ක්‍රියාත්මක වන ආකාරයද දැකගත හැකිවුණා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ඔවුන් දියත් කළේ රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින්.

වෘත්තීය ක්‍රියාමාර්ග අතරතුර ඇතැම් ක්ෂේත්‍රවල සේවකයන් දහවල් කෑම පැයේදී විරෝධතාවලද නිරත වුණා.

වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළේ ලබන සතිය ඇතුළත බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදුනොවුනහොත් අනතුරුව අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවයි.

සෞඛ්‍ය, ඉන්ධන, විදුලි, ජල, වරාය, සරසවි ඇතුළු ක්ෂේත්‍ර රැසක දෛනික කටයුතුවලට ඒ ඒ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති ආරම්භ කළ ක්‍රියාමාර්ග හේතුවෙන් බලපෑම් එල්ල වුණා.

ඉන්ධන, විදුලි සහ ජල ක්ෂේත්‍රවල වෘත්තීය සමිති සිය විරෝධය පළ කිරීම සඳහා තෝරාගෙන තිබුණේ අසනීප නිවාඩු වාර්තා කිරීමයි.

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 22 ක සාමාජිකයින් ලෙඩ නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටියා.

ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ, අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ දිනයේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධා එල්ල වූ බවයි.

මේ අතර, රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව දියත් කර ඇති සංකේත වැඩ වර්ජනය සාර්ථක බව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ මහතා කියා සිටියා.

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක්ද ඊයේ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වුණා.

කෙසේ වෙතත්, ද සොයිසා කාන්තා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, වකුගඩු රෝහල ආදී අත්‍යාවශ්‍ය සේවා සපයන ස්ථාන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කෙරුණා.

කෙසේ වෙතත්, දිවයිනේ රෝහල් රැසක බාහිර රෝගී අංශවලට පැමිණි රෝගීන් අපහසුතාවයට පත්ව තිබූ අතර, ඇතැම් රෝහල්වල එම කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරුණා.

කෙසේ වෙතත්, ඊයේ ක්‍රියාමත්මක වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පොදු ප්‍රවාහනයට බලපෑමක් එල්ල වූයේ නැහැ.

පෞද්ගලික බස් රථ සංගම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ නොකරන බව ඊයේ දිනයේම ප්‍රකාශයට පත් කළ අතර, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා කියා සිටියේ දුම්රිය ධාවනයද සාමාන්‍ය පරිදි සිදුවූ බවයි.

පෞද්ගලික බස් රථ සංගම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ නොකරන බව ඊයේ දිනයේම ප්‍රකාශයට පත් කළ අතර, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා කියා සිටියේ දුම්රිය ධාවනයද සාමාන්‍ය පරිදි සිදුවූ බවයි.

කෙසේ වෙතත්, දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වී තිබූ අතර, ඇතැම් දුම්රිය ප්‍රමාද වී ධාවනය කෙරුණා.

මේ අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සිටි අතර, ඇතැම් පාසල්වල ගුරුවරුන් කළු ඇඳුමින් සැරසී පාසල් වෙත පැමිණ සිටියා.

එමෙන්ම, වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් බැංකු කටයුතුවලට බාධා එල්ල වී තිබුණා.

ලංකා බැංකු සේවක සංගමයේ ලංකා බැංකු ශාඛාවේ සභාපති අනුරාධ නිරාජ් පීටර් මහතා කියා සිටියේ තම වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථක බවයි.

මේ අතර, රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් දියත් කළ වෘත්තිය ක්‍රියාමාර්ගවලට රජය යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඉදිරියේදී ක්‍රියාමාර්ග දැඩි කරන බව වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළා.