hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 13, පෙ.ව. 9:03



රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අද (13) දිවයිනේ රෝහල් රැසක වැඩවර්ජනයක් ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කර ඇති බව  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාතික ඉහළ දැමීම, විදුලි බිල වැඩි කිරීම, රාජ්‍ය සේවක ගැටලු ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව ගනු ලබන වෘත්තිය ක්‍රියාමාර්ග මෙම සතිය තුළ තවදුරටත් තීව්‍ර කිරීමට වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව පසුගියදා තීරණය කළා.

එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, ක්ෂේත්‍ර රැසක කොටස් වශයෙන් පසුගිය සතිය තුළ ක්‍රියාත්මක වුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට එක්වුයේ නැහැ.

කෙසේවෙතත් අද සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මෙම විරෝධතා සහ වර්ජන ක්‍රියාමාර්ග වෙත සම්බන්ධ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල සියලුම රෝහල් ආශ්‍රීතව අද උදෑසන 08 සිට මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ.

සමස්ත ලංකා හෙද සංගමය, ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය, සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව, ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව ඇතුලු පාර්ශ්ව රැසක් ද මෙම සතිය තුළ විරෝධතා සහ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹීමට නියමිතව තිබෙනවා.

ලංකා බැංකු සේවක සංගමයට අයත් සියලුම බැංකු සේවකයින් අද දිනයේ කළු ඇඳුමින් සැරසී විරෝධතාවයක නිරත වීමට සැලසුම් කර ඇති අතර වරාය සේවකයින් ද අද සිට පැය 48ක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතයි.

තම ගැටලුවලට රජය නිසි ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ලබන 15 වනදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ.