hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 17, ප.ව. 2:48



ගාලුමුවදොර උද්ඝෝෂණ ස්ථානය ඉවත් කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නිර්පාක්ෂික අරගලකරුවන්ගේ එකමුතුව වෙනුවෙන් නීතීඥ අචලා සෙනවිරත්න මහත්මිය සඳහන් කළා.

ඒ අනුව ජනතාවට් සාධාරණයක් අපේක්ෂාවෙන් ඉදිරියේදී අභියාචනාධිකරණය හමුවට යන බව ද ඇය පවසා සිටියා.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අපරාධ නඩු විධාන සංග්‍රහය, පොලිස් ආඥා පනත සහ නාගරික සංවර්ධන පනත උල්ලංඝනය කරමින් මෙම ස්ථානය ජනතාව ඉවත් කර තිබූ බව ද නීතිඥවරිය ප්‍රකාශ කළා.

ගාලු මුවදොර අරගල භූමියේ ජනතාව රැඳී සිටීම නීති විරෝධී යැයි කිසිදු අධිකරණයකින් දැනුම් දී නැති බව ද සෙනෙවිරත්න මහත්මිය සඳහන් කළා.

නාගරික සංවර්ධන පනත උල්ලංඝනය නොවන අයුරින් එහි කූඩාරම් ඉදි කර තිබූ බව ද ඇය ප්‍රකාශ කළා.

අගෝස්තු 12 වැනිදා ජනතාව පලවා හැර උද්ඝෝෂණ ස්ථානය ලෙස සඳහන් කර තිබූ පුවරුවද ඉවත් කර ඒ වෙනුවට ඇතුල්වීම තහනම් යනුවෙන් පුවරුවක් සවිකර තිබෙන බවද නීතිඥවරිය ප්‍රකාශ කළා.

අධිකරණ නියෝගයකින් තොරව මෙම ජනතාව ඉවත් කර තිබෙන බවත් එහිදී අනීතික අයුරින් නිලධාරීන් කටයුතු කර තිබෙන බවත් ඇය සඳහන් කළා.

ගාලු මුවදොර පිටිය 1856 වසරේ සිට ජනතාව සතු භූමියක් ලෙස නම් කර තිබෙන බවද ඇය ප්‍රකාශ කළා. එවැනි අයිතිවාසිකමක් සහිත භූමියකින් ඉවත්කළ ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩ වී තිබෙන බවද නීතිඥවරිය පෙන්වා දෙනවා.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළ බවද අචලා සෙනවිරත්න මහත්මිය සඳහන් කළා.

උද්ඝෝෂණ පැවැත්වීමේදී ඇතිවන මාර්ග තදබදය හා මහජන පීඩා වැලැක්වීම සදහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 වසරේදී මෙම ස්ථානය උද්ඝෝෂණ පැවැත්වීම සඳහා වෙන් කර තිබූ බවද ඇය ප්‍රකාශ කළා.

ඉතා කුඩා අයිතිවාසිකම් කඩවීම විශාල අයිතිවාසිකම් කඩවීම් වලට බලපාන බවත් ඒ අනුව නීතිමය මඟට පිවිස පූර්වාදර්ශයක් ලබා දීමට තීරණය කළ බවත් නීතීඥවරිය වැඩිදුරටත් සඳහන් කළා.