hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 12, පෙ.ව. 9:11



පනවා තිබූ ඇදිරිනීතිය පැය 7ක කාලයක් සඳහා අද (12) උදෑසන 7ට ඉවත් කිරීමත් සමඟ ඇතැම් ප්‍රදේශවල ජනතාව අත්‍යවශ්‍ය කටයුතු සඳහා නගරයට ඇදී එන ආකාරයක් දක්නට ලැබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරුවන් පවසනවා.

ඉන්ධන ලබා ගැනීමටද මේවන විට ඉන්ධන හල් ඉදිරියේ දිගු පෝලිම් දක්නට ලැබෙන බව වාර්තා වනවා.

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල, ගලේවෙල, නාඋල, සීගිරිය ආදී ප්‍රදේශවල ජනතාව කඩිනමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම් සඳහා උදෑසන සිටම නගරවලට පැමිණෙමින් සිටින බව දඹුල්ල ඒෂියන් මිරර් වාර්තාකරු පැවසුවා.

එළවළු අලෙවිය අධික මිලකට

දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අලුයම හතරට විවෘත කිරීමත් සමග ලැබී තිබුණු ඉතා සීමිත එළවළු තොග අලුයම කාලයේම දුර පළාත්වල වෙළෙන්දන් පැමිණ මිලදී ගෙන පිටව ගොස් ඇති බව ව්‍යාපාරිකයින් පෙන්වා දුන්නා.

ගොවීන් විසින් ආර්ථික මධ්‍යස්ථානයට ගෙනවිත් තිබූ ඉතා සීමිත එළවළු සඳහා අධික ඉල්ලුමක් සහ අධික මිලක් ලැබෙන පවතින බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයින් පවසනවා.

වට්ටක්කා, කැරට්, වම්බටු, ලීක්ස්, ගෝවා, බෝංචි ආදී එළවළු වර්ග යම් මට්ටමකින් ආර්ථික මධ්‍යස්ථානයට ලැබී තිබුණු අතර පහතරට එළවළු වර්ග බොහොමයක් ඉතාමත් අඩුවෙන් ලැබුණු බව එම ව්‍යාපාරිකයින් පෙන්වා දුන්නා.

වාහන තැන තැන අතරමං

එමෙන්ම දඹුල්ල නගරයේ ඉන්ධන පිරවුම් හල් බොහොමයක ඩීසල් නොමැතිවීම හේතුවෙන් වාහන තැන් තැන අතරමංව සිටිති.

එමෙන්ම ඉන්ධන පිරවුම්හල් කීපයක්ම ඉන්ධන නොමැති නිසා වසා දමා තිබුණු අතර පෙට්‍රල් ලබා  ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් දැකගැනීමට හැකියි.

බස් නැවතුම්පොළ සහ අනෙකුත් ස්ථානවල මගීන් රැස්ව සිටි අතර ගමනා ගමනයට බස්රථ නොමැති වීම නිසා ඔවුන් අසීරුතාවයකට පත්ව සිටින අයුරුද දැක ගැනීමට හැකි වීම විශේෂත්වයක්.

දුර පළාත්වල පොදු ප්‍රවාහන සේවා දැක ගැනීමට නොහැකි විය.

එළවළු මිල හිතුමතේට

කෙසේවෙතත් කෙටි දුර ගමන් සඳහා ද බොහොමයක් පෞද්ගලික හෝ ලංගම බස් රථ යොදවා නොතිබීම දඹුල්ල නගරයේ  දැක ගැනීමට හැකි වූ තවත් විශේෂ සිද්ධියක් බවයි අප වාර්තාකරු පැවසූවේ.

නගරයේ වෙළඳසැල් බොහොමයක අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශාල ජනතාවක් රැස්ව සිටි අතර වෙළෙන්දන්ද තම හිතුමතේට මිල ගණන් කියමින් භාණ්ඩ අලෙවි කිරීමේ කටයුතුවල නිරත වන බවද ජනතාව පවසනවා.

මෙදින දඹුල්ල සති පොල ද යම් මට්ටමකින් විවෘතව තැබීමට වෙළෙන්දන් පියවර ගෙන තිබුණා.

ලංගම බස් සීමිතයි

ඇදිරි නීතිය ඉවත්කළ පැය 07 ක කාලසීමාවේදී ඩිපෝ මට්ටමින් පළාත් තුළ සීමිත බස් රථ ප්‍රමාණයක් ධාවනයට යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළා.

එහි සභාපති කිංස්ලි රණවක පැවසුවේ දුරගමන් සේවා බස් රථ ධාවනය නොවීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි.

ඇදිරි නීතිය පැනවීමත් සමග ලංගම සේවකයින් සිය ගම්බිම්බලා පිටත්ව ගොස් ඇති බැවින් බොහෝ දුරට අද දිනයේදී සේවයට වාර්තා නොකරන තත්වයක් පවතින බවද කිංස්ලි රණවක මහතා පැවසුවා.

දුර ගමන් බස් නෑ

එම නිසා පළාත් තුළ සීමිත බස් රථ ධාවනයක් සිදුවන නමුත් අන්තර් පළාත් බස් රථ ධාවනය සිදුනොවන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය අද උදෑසන 7.00ට ඉවත් කර යළි එය අද පස්වරු 2.00ට පැනවෙන අතර පසුදින පෙරවරු 6.00 දක්වා බලපැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසූවේ.

මහජන ආරක්ෂක අංඥා පනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකුලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 09 වනදා රාත්‍රී 7 සිට මුළුදිවයිනට ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පනවනු ලැබුවා.