hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 11, ප.ව. 3:01



ඉරිදා දිනයෙන් අලුත් වූ ඉන්ධන ලබා ගැනීමේ ‘QR’ ක්‍රමවේදයට මුවා වී සමස්ත  තෙල් සේවකයන් විසින් ගතවූ කාලසීමාවේ සෙනසුරාදා වරුවක සහ ඉරිදා නිවාඩු දින සේවයට වාර්තා කිරීමෙන් අමතර අතිකාල දීමනා (OT) ලෙස රුපියල් දෙකෝටියකට ආසන්න මුදලක්  සිය පඩිපතට එකතු කොට ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඉරිදා දින කෝටාව අවසන් වීම හේතුවෙන් එදිනට ඉන්ධන පාරිභෝගිකයන් වැඩි වශයෙන් ඉන්ධනහල් වෙත ඒමේ තත්ත්වය මුල් කර ගනිමින් මෙම තෙල් සේවකයන් සෙනසුරාදා පස්වරුවේ සහ ඉරිදා නිවාඩු දිනයේ සේවයට වාර්තා කරමින් මෙම අතිකාල දීමනා ලබා ගෙන ඇති බවද සඳහන් වෙනවා.

මේ හේතුවෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට පසුගිය මාස කිහිපයේදී පමණක් අමතර අත්තිකාරම් ලෙස රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවී තිබෙනවා.

මෙලෙස විශාල අත්තිකාරම් මුදලක් නිකරුණේ වැය වීම හේතුවෙන් කෝටාව අලුත් වන දිනය ලෙස ඉකුත් සතියේ සිට අඟහරුවාදා මධ්‍යම රාත්‍රියට යොදා ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගත් අතර මේ සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කොට තිබුණේ, මේ තත්ත්වය මත කොළොන්නාව, මුතුරාජවෙල සහ ප්‍රාදේශීය ඩිපෝ 11ක සෘජු වියදම් ලෙස රුපියල් ලක්ෂ 195ක් සහ විදුලිය, ජලය, සන්නිවේදන, පිරිසුදු කිරීම ඇතුළු වක්‍ර  වියදම් ලෙස රුපියල් ලක්ෂ 100ක් මාසිකව වූ වියදම් පාලනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

ජාතික ඉන්ධන අවසරපත් QR ක්‍රමවේදය මඟින් ඉන්ධන ලබාදීමේ කටයුතු සතිපතා යාවත්කාලීන කිරීම ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට අඟහරුවාදා මධ්‍යම රාත්‍රිය බවට පරිවර්තනය කිරීම මඟින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ මාසිකව රුපියල් ලක්ෂ 300ක පමණ වියදම් අඩු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයිද අමාත්‍යාංශය සඳහන් කොට තිබෙනවා.