hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 31, පෙ.ව. 7:59



ඉදිරියේ දී ගොවි ජනතාව වෙනුවෙන් ද QR කේතයක් හඳුන්වා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

QR ක්‍රමවේදය භාවිත කරමින් එවිට ගොවීන්ට පොහොර, බීජ වැනි දෑ ලබාගැනීමට ඉඩප්‍රස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී පැවැති කෘෂි ව්‍යවසායකයින් පිරිසක් විසින් සංවිධානය කරන ලද පුද්ගලික ව්‍යවසායකත්ව වැඩමුළුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ගොවි ජනතාව පොහොර ගැටලුවෙන් බොහෝ සේ පීඩාවට පත්වු බවත් ඔවුන් වෙනුවෙන් මේ වසර තුළ ද පොහොරවලට අමතරව සහන ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අප්‍රේල් අවසන් සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ වනවිට කෙටුම්පත් කර අවසන් කර ඇති ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා.

රජයන් හෝ අමාත්‍යවරුන් වෙනස් වන විට වෙනස් නොවන, කෘෂිකර්ම ජාතික ප්‍රතීපත්තියක් සකස් කිරීම තම අරමුණ බව මහින්ද අමරවීර මහතා පෙන්වා දෙනවා.

සියලුම ගොවි නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා ද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සඳහා ලබාගැනීමට ද කටයුතු කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.