hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 02, ප.ව. 2:27



කිව් ආර් ක්‍රමවේදය යටතේ ඉන්ධන බෙදාහැරීම මේ වනවිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 1190ක සිදු වනවා.

අක්‍රමිකතා මැඩපැවැත්වීමට සහ ඉන්ධන බෙදාහැරීම ක්‍රමවත් කිරීමේ අරමුණින් කිව්.ආර් ක්‍රමවේදය ඊයේ සිට දිවයින පුරා ආරම්භ වුණා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, කිව්.ආර් ක්‍රමවේදය යටතේ ඊයේ සිපෙට්කෝ සහ ලංකා අයි.ඕ.සී පිරවුම්හල් 820ක ඉන්ධන බෙදා හැර ඇති බව යි.

ඊයේ දිනය තුළ පමණක් රථ වාහන 457,360ක් සඳහා ඉන්ධන ලීටර් 3,850,615යි දශම 9යි 3ක් ක්‍රමවේදය යටතේ ලබාදීමට පියවර ගෙන ගෙන තිබෙනවා.

මේ අතර ඉන්ධන ලබාගැනීමේ පෝලිම්වල සැළකිය යුතු අඩුවක් ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති කුමාර රාජපක්‍ෂ මහතා පැවසුවේ QR කේත ක්‍රමයේ සාර්ථකත්වයක් ඇති බවයි.

යතුරුපැදි සහ ත්‍රීරෝද රථවල පෝලිම්වල විශාල අඩුවක් ඇති බව ද ඔහු පැවසුවා.

QR කේතය හේතුවෙන් කීපවරක් ඉන්ධන ලබාගැනීමට නොහැකි වීම නිසා එම තත්ත්වය ඇති වී තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර QR ක්‍රමවේදයට ඉන්ධන ලබා දීමේ ක්‍රියාවලිය අසාර්ථක බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පවසයි.

ඔහු පවසන්නේ, ත්‍රීරෝද රථවලට ලැබෙන ඉන්ධන ලීටර් 05 ප්‍රමාණවත් නොවන බවයි.

මෙම නව ක්‍රමය සඳහා මේ වනවිට ලක්ෂ එකොලහක් ත්‍රීරෝද රථ ලියාපදිංචි කර ඇති නමුත්, වෘත්තියක් ලෙස ත්‍රීරෝද රැකියාවෙහි යෙදෙන්නේ රියැදුරන් ලක්ෂ 7.5ක් බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ හේතුවෙන් රැකියාවක් ලෙසින් ත්‍රීරෝද රථ ධාවනයේ නියැලෙන්නන් අපහසුතාවට ලක්ව ඇති බවත්, රැකියාවක් ලෙසින් ත්‍රීරෝද රථ ධාවනය නොකරන ලක්ෂ 11 ඉවත් කර ලක්ෂ 07කට පමණක් ඉන්ධන ලබාදෙන්නේ නම්, සතියකටම ලීටර් 15ක් අවම වශයෙන් තමන් ඇතුළු පිරිස ලබාදිය හැකි බවයි හෙතෙම පැවසුවා.

එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහත දැමීමත් සමග බස් ගාස්තු සංශෝධනය කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය අද ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඊයේ රාත්‍රියේ 10 සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක මිල පමණක් සංශෝධනය කෙරුණු අතර එහි නව මිල වන්නේ රුපියල් 430ක්.

කෙසේ වෙතත්, ගාස්තු සංශෝධනය කිරීම සඳහා ඉන්ධන මිල සියයට 4කින් පමණ අඩු විය යුතු අතර, ඒ අනුව ගාස්තු සංශෝධනය කළ හැකි ද යන්න අධ්‍යයනය කර අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව යි ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා කියා සිටියේ.